ගල්අඟුරු ගැටලුවට විසඳුමක් නුදුන්නොත් ලබන මස සිට පැය 10ක් රටම කළුවරේ

0
10

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලට ගැනීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අර්බුදකාරී වාතාවරණය කඩිනමින් නිරාකරණය කර නොගතහොත් ඔක්තෝබර් දෙවැනි සතියේ සිට පැය 10කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල උසස් නිලධාරියකු ‘මව්බිම’ට පැවැසීය.

මෙම බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් මිලියන 1.2 ස්විට්සර්ලන්තයට අනුබද්ධ සමාගමක් හරහා ආනයනය කිරීම සඳහා සියලු කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් සැලසුම්කොට තිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මේ වන විට මෙම ගල්අඟුරු ප්‍රසම්පාදන කටයුත්තට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විටත් ඩීසල් බලාගාර රැසක් අක්‍රිය වී ඇති මොහොතක මෙලෙස ගල්අඟුරු බලාගාරය නිසි වේලාවට ක්‍රියාත්මක කොට ජාතික විදුලිබල පද්ධතියට නිසි විදුලි ධාරිතාව ලබාදීමට අපොහොසත් වුවහොත් ඔක්තෝබර් දෙවැනි සතියේ සිට දෛනික විදුලි කප්පාදු පැය ගණන පැය 10කට අධික විය හැකි බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ තත්ත්වය මත විවිධ දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජයේ නිර්මාණය කර ඇති අර්බුදකාරී වාතාවරණය නිසා අහිමි වී ඇති සැපයුම් යථා තත්ත්වයට පත් කරමින් ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් ලබා ගැනීමට සහ නීත්‍යනුකුලව එම පිරිස්වලට සහ එම සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ එම සැපයුම්කරුවන් සමඟ පැවැත්වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කොට ඇත.

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මඟින් ගල්අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යනුකූලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටී.

ඒ අනුව එම කටයුතු නීත්‍යනුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

චාමර අමරසූරිය