ගඟේ කිමිදී මැණික් ඉල්ලම් සෙවූ දෙදරු පියා ගල් කුලක සිරවී මරුට

0
7

ඇඹිලිපිටිය, කලගෙඩිආර ප්‍රදේශයේදී ගං පත්ලක කිමිදී අනවසරයෙන් මැණික් ඉල්ලම් සෙවීමේ නිරත වූ අයකු ගං පතුලේ ගල් කුලක් යට සිරවී පෙරේදා (12දා) සවස මියගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පැවැසීය.

මෙම අය කිමිඳුම් කට්ටලයක් උපයෝගී කර ගනිමින් අඩි 25ක් පමණ ගඟ යටට කිමිදෙමින් මෙසේ පතුලේ ගල් කුලු අතර තිබෙන මැණික් ඉල්ලම් සෙවීම් සිදුකර තිබේ.

ගඟේ කිමිඳුණු මොහු බොහෝ වේලාවකින් ජලයෙන් මතුපිටට නොපැමිණීම නිසා ඒ පිළිබඳ ඔහුගේ සගයන් සොයා තිබේ.

ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයක සොයා බැලීමකින් අනතුරුව ගඟ පතුලේ ගල් කුලක් යට සිරවී මියගොස් සිටි මොහුගේ සිරුර හමුවී තිබේ. මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයේ තිස් හත් හැවිරිදි දෙදරු පියෙකි.

ඇඹිලිපිටිය – සුනිල් හරිස්චන්ද්‍ර