එළිච්චියන් 28ක් මැරූ මස් වැද්දන් තිදෙනා රිමාන්ඩ්

0
9

ලක්‍ෂ 20ක් පමණ වටිනා එළිච්චියන් 28ක් මරා මස්කොට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි සැකකරුවන් තිදෙනකු මෙම 26දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එච්. දිනුදු සමරසිංහ මහතා පෙරේදා (12දා) නියෝග කළේය.

කන්තලේ වාන්ඇළ ජයන්තිගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35, 40, 45 යන වයස්වල පුද්ගලයන් තිදෙනකු මෙසේ රිමාන්ඩ් කෙරිණි. සැකකරුවන් සමඟ ඔවුන් එළුවන් මැරීමට යොදාගන්නා ලද උල් පිහි දෙකක් හා එළුවකුගේ හිසක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ජයන්තිපුර ප්‍රදේශයේ කුඩා කඩයක් හා එළු පට්ටියකින් ජීවිතය රැක ගන්නා සිවුදෙනකුගෙන් යුත් පවුලක අයගේ මෙම එළු පට්ටියේ එළුවන් 30ක් සිට ඇති අතර එයින් දැනට ඉතිරිව ඇත්තේ ඊයේ පෙරේදා ප්‍රසූත කළ කුඩාම එළු පැටවු දෙදෙනකු ඇතුළු 5 දෙනකු බව අධිකරණයේදී අනාවරණය විය. කන්තලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකරගේ උපදෙස් මත අග්බෝපුර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ