උණු බත් බලෙන් කවන්න හැදූ ආත්තම්මාට මුනුපුරාගෙන් මැරෙන්නම යකඩ පොලු පහර

0
16

උදෑසන සකස් කළ බත් නිවෙන්නට කලින් කන්න කන්න යැයි කියමින් බල කිරීම නිසා උරණ වූ මුනපුරකු යකඩ පොල්ලකින් පහරදී ආත්තම්මා මරාදැමූ පුවතක් හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරණායක, තල්ගස්පිටිය පදිංචි 81 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකි.

සිද්ධිය වනදා සැකකරුගේ මව ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති අතර පියාද සේවය සඳහා නික්ම යෑම නිසා නිවෙසේ නතරව සිට ඇත්තේ සැකකරු සහ මිත්තණිය පමණක් බව හෙම්මාතගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති මුනුබුරාට වයස අවුරුදු 13ක් වන අතර ඔහු මකුල්වල ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන බවද කියයි.

ඉකුත් 12 වැනිදා උදෑසන අත්තම්මා විසින් උදෑසන ආහාරය සඳහා බත් සහ පොල් සම්බෝලයක් පිළියෙල කර එය නිවෙන්නට කලියෙන් කන ලෙස මුනුපුරාට බලකර තිබේ.

කන්න, කන්න, කන්න යනුවෙන් කිහිප වතාවක් පැවැසීම නිසා සැකකරුගේ කෝපය උත්සන්න වීමෙන් ඔහු මිත්තණියට යකඩ පොලු පහරදී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ පියා පවසා ඇත්තේ පුතා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවත් ඊට ප්‍රතිකාරද ලබාගන්නා බවයි.

කිසියම් වචනයක් දිගින් දිගටම පැවැසුවහොත් ඔහු ඉක්මනින් කෝපවන බවත් ඉන් අනතුරුව ඔහු කරන කියන දේ ගැන ඔහුද නොදන්නා බවත් පියා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් පුතාගේ මානසික ආබාධය නිසා ඔහු නිවෙසේ තනිවම තබා නොයන බවද පවසා ඇති සැකකරු පියා ඔහු එදින මව සමඟ රෝහලට යැවීමට සිටියද අතේ මුදල් නොමැති නිසා එය ඇනහිටි බවත් පොලිසියට පවසා තිබේ.

මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මාවනැල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක එම්.ඒ.ඒ.සී. සුමනසේකර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අතර සැකකාර මුනුපුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති මෙන්ඩිස්

මාවනැල්ල – කේ.වී බණ්ඩාර