ආර්ථික අභියෝගය ජයගන්න සහාය දෙනවා

0
17

වසංගතය සමඟ ඇතිවූ ගෝලීය ආර්ථික පසුබෑම හේතුවෙන් දුෂ්කර පරිසරයක් රට තුළ නිර්මාණය වී තිබීම ආසියානු සංවර්ධන බැංකුවේ කනස්සල්ලට හේතුවක් යැයි ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙචි යොකොයාමා අවධාරණය කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙචි යොකොයාමා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට ආර්ථික පුනර්ජීවන සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. රටේ සංවර්ධනයට හා ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට යොකොයාමා මහතා සිය සහයෝගය සහතික කළේය. ආර්ථිකය පුනර්ජීවනය කිරීමට රජය ගෙන ඇති පියවර අග්‍රාමාත්‍යවරයා ඔහුට විස්තර කළේය. සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්‍ෂා කිරීම අරමුණු කරගත් වැඩසටහන් පිළිබඳව අවධානය යොමු විය.

නිෂ්පාදනය ඉහළ නැංවීමට ග්‍රාමීය කෘෂිකර්ම සංවර්ධන සැලසුම් පුළුල් කිරීමට සහාය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළේය. ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ලබාදීමට තීරණය කර ඇති ඩොලර් මිලියන දෙසීයක හදිසි ආධාර ණය මුදල සහ ආසියා පැසිෆික් කලාපයේ සෞභාග්‍ය හා ඔරොත්තුදීම පිළිබඳ ජපන් අරමුදල ලබාදෙන ඩොලර් මිලියන තුනක ප්‍රදානය පිළිබඳවද කෙනෙචි යොකොයාමා මහතා මෙහිදී සිහිපත් කළේය.

(Japan Fund For Prosperous And Resilient Asia And The Pacific) එමඟින් දිළිඳු හා ආර්ථික අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට හා ළමයින්ට ආහාර සඳහා ප්‍රවේශය සහතික කෙරෙනු ඇත. ජීවනෝපායන්ද ආරක්‍ෂා කරන බව හෙතෙම කීවේය. බැංකුව සහාය දක්වන ව්‍යාපෘති මඟින් මේ අවස්ථාවේ රජයට තීරණාත්මක සහායක් ලබාදීමට ඔහු පොරොන්දු විය.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්‍ෂ චෙන් චෙන් මහතා පැවැසුවේ මෙම ණය මුදල ශ්‍රී ලංකාව මුහුණ දෙන බහුවිධ අභියෝග සඳහා හදිසි ප්‍රතිචාර පැකේජයේ කොටසක් බවයි. අත්‍යවශ්‍ය වෛද්‍ය සැපැයුම්, ජල පිරිපහදු කිරීමේ ද්‍රව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධනය වැනි ක්‍ෂණික අවශ්‍යතාව සපුරාලීමට දැනට පවතින ණයවලින් අතිරික්තය යොදා ගන්නා බවයි. මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට සහාය වීම සඳහා සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව ක්‍රියාකරන බව ඔහු පැවැසීය.

ජල සම්පාදනය, පළාත් පාලන, යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එම ව්‍යාපෘති නිම කිරීම සඳහා තවදුරටත් සහාය ලබාදීමේ හැකියාව සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙචි යොකොයාමා මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ආසියානු සංවර්ධන  බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ උත්සව් කුමාර් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

ජේ.ටී ද සිල්වා