ආණ්ඩු කඩාවැටෙන්නේ ඇමැතිවරුන්-රාජ්‍ය නිලධාරීන් ගැටීම නිසයි

0
357

බොහෝ ආණ්ඩු කඩාවැටෙන්නේ ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් දෙකට බෙදී වැඩ කිරීම නිසා යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ (13දා) පැවැසීය.

එනිසා තමන් කොටවන්නට කිසිවකු උත්සාහ නොකළ යුතු යැයි කී හෙතෙම එක පවුලක් සේ ක්‍රියා කර සෙසු අමාත්‍යාංශවලටද ආදර්ශයක් දීමට  කටයුතු කළ යුතු යැයි අවධාරණය කළේය.

කැබිනට් ඇමැති විධියට තමාත්, අලුතින් පත්වුණු රාජ්‍ය ඇමැතිවරුත් ලබා ගන්නේ මන්ත්‍රි වැටුප පමණක් බවද රණතුංග පැවැසීය.

එම නිසා නව රාජ්‍ය  ඇමැතිවරුන් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල පතුරන මතවලට නොරැවටෙන ලෙස අමාත්‍යවරයා  ඉල්ලීමක් කළේය.

තම අමාත්‍යාංශයට පත්වූ රාජ්‍ය  අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බවද රණතුංග මහතා  කීය.

එක පවුලක් ලෙස වැඩ කරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (13දා) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 21හි ප්‍රධානීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හ¾දුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

“අලුතින් පත්වුණු රාජ්‍ය අමාත්‍යවරුන්ට මම දැනටමත් ආයතන බෙදල දීල ඉවරයි. මම කොහොමත් වැඩ බෙදාගෙන කරන්න කැමැති මනුස්සයෙක්. මේක අමාත්‍යාංශ තුනක් නෙවෙයි. එක අමාත්‍යාංශයක් බව හිතාගෙන අපි ඔක්කොම වැඩ කරමු.

බෙදිලා වැඩ කරන්න එපා. බොහෝ තැන්වල වෙන්නේ ලේකම්වරු ඇතුළු නිලධාරීන්, ඇමැතිවරුන් බෙදිලා වැඩ කරන එකයි. ආණ්ඩු කඩාවැටෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒක නිසා අපිව කොටවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ. අපි එක පවුලක් වගේ වැඩ කරලා අනෙක් අමාත්‍යාංශවලට ආදර්ශයක් දෙමු. එකට එකතුවෙලා වැඩ කරනකොට ප්‍රතිලාභ ලබන්නත් ලේසියි. ඒ නිසා දැන් කතාව නවත්තලා අපි ඔක්කොම එකට වැඩ කරමු.

එ වගේම සමහර නිලධාරීන් වැඩ කරන්නේ චක්‍රලේඛ පමණක්  පදනම් කරගෙනයි. චක්‍රලේඛ තියෙන්නේ වැඩ කරන්න මිස වැඩ නොකර ඉන්න නෙවෙයි. ඒක නිසා චක්‍රලේඛ මතම පදනම් නොවී වැඩ කරන්න පුරුදු වෙන්න. නැත්තම් අපි ඔක්කොම අමාරුවෙ වැටෙනවා. හැබැයි මම වැරදි වැඩ කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.

මෙතැන විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන නිලධාරීන් ඇති. මට ඒව අදාළ නැහැ. මට අවශ්‍ය වැඩේ වෙන්න විතරයි. රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීලා ඉන්න වෙලාවක රාජ්‍ය ඇමැතිවරු පත්කිරීම සමහරු දැඩිව විවේචනය කරනවා. කැබිනට් ඇමැති විධියට මමත්, අලුතින් පත්වුණු රාජ්‍ය ඇමැතිවරුත් ගන්නේ මන්ත්‍රි වැටුප විතරයි. අපි තියෙන වාහනම පාවිච්චි කරනව මිසක් අලුතින් වාහන ගත්තෙ නැහැ. කාර්ය මණ්ඩලය සීමා කළා. ඇමැතිවරු ඔක්කොම කැපකිරීම් කරනවා. ඒ නිසා සමාජ මාධ්‍යයේ පළවන දේවල් විශ්වාස කරන්න එපා. දැන් වැඩ කරනවා මිසක් අපිට ඒවට උත්තර දිදී ඉන්න වෙලාවක් නැහැ. 

මේ ආයතන බොහෝමයක් යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින්. දැන් අපි බලන්න ඕන මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැතිව ආයතන පවත්වාගෙන යන්නයි. අපි සාර්ථක වෙන්නේ එවිටයි. එහෙම නොවුණොත් පවතින අර්බුද තවත් දැඩි වෙනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.

අනුරාධා හේරත්