ආණ්ඩුවේ රැකියා දීම සමාලෝචනයට කමිටුවක්

0
27

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ රාජ්‍ය සේවාව විධිමත්ව, කාර්යක්ෂමව හා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  මේ කමිටුව පත්කෙරෙන බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

රාජ්‍ය සේවයේ විවිධ අංශවල ඇති පුරප්පාඩු සහ අතිරික්තයන් පිළිබඳව ගණනය කිරීමෙන් පසුව එම සේවක සංඛ්‍යාව තුලනය කිරීම පිළිබඳව මෙහිදී තීරණය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි කාලය තුළදී අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමටද, සමහර ආයතනවල සේවා පවත්වා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයන් පුරප්පාඩු සහිත අංශවලට අනුයුක්ත කිරීමටද තීරණය වී තිබෙන බවද ඔහු කීය.පසුගිය කාලයේදී රාජ්‍ය සේවයට බඳවා ගත්  හැටදහසක පමණ උපාධිධාරීන් පිරිස විවිධ ස්ථානවලට හා අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථානවලට වෙන් කොට  අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියත් සිදු කෙරෙන බවද හෙතෙම පැවැසීය.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව කැබිනට් අනුමැතිය ලබාදී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බවද ඔහු තවදුරටත් කීය.

සවනි ශේශාධි