අසූ හැවිරිදි මවක හා ඇගේ දියණිය මැරූ ත්‍රීවීල් රියැදුරා අත්අඩංගුවට

0
17

බදුල්ල, ගැනල්පීන් වත්තේ ජීවත්වූ මවක් සහ දියණියක් කපාකොටා ඝාතනය කළ බව කියන සැකකරු පෙරේදා (12දා) උදෑසන බදුල්ල, වීරියපුර ප්‍රදේශයේදී බදුල්ල පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 33ක බදුල්ල, වීරියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ත්‍රිරෝද රථ රියැදුරකු වන මෙම සැකකරු මරා දැමුණු එක් කාන්තාවකගෙන් රුපියල් 20,000ක  මුදලක් ණයට ඉල්ලා ඇති අතර එම කාන්තාව සැකකරුට එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් අනතුරුව සැකකරු තියුණු ආයුධයක් පෙන්වා එම කාන්තාව බයකර ඇය පැලඳ සිටි රන් අභරණ ගලවාගෙන ඇති අතර ඉන් පසුව මෙම මව සහ දියණිය සැකකරු විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය කීය.

මෙසේ පැහැරගෙන ගිය රන් ආභරණ උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

ඉකුත් 10 වැනිදා උදෑසන බදුල්ල, ගැනල්පීන් වතු ගම්මානයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබූ අතර ඝාතනයට ලක්වූයේ අසූ හැවිරිදි එච්.එම්. රන්මැණිකා මව සහ ඇගේ දියණිය පනස්පස් හැවිරිදි ආර්.එම්. ජයවතී යන දෙදෙනාය. සිද්ධියෙන් තවත් ඥාති කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබිණි.

සිද්ධිය වූ දින නිවෙසේ එකම කාමරයක මෙම මව සහ දියණිය  නිදාගෙන සිටියදී සැකකරු ඔවුන් බිය ගන්වා අවදිකොට තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බදුල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ටී.එම්. රත්නායක මහතාගේ මෙහෙයවීම මත මෙම සැකකරු කොටුකරගෙන තිබේ.

කීර්ති මෙන්ඩිස්