අරගලයේ නිරත හිමිනමකට වසර 11කට පසු ලැබුණු සම්මානය

0
230

මාතලේ – නාඋල,  නිකුල ශ්‍රී   සුමංගලාරාමාධිපති ගැඹුරුඔයේ මහින්ද ස්වාමීන් වහන්සේ සද්ධර්ම කීර්ති ශ්‍රී  ජාතිකගෞරව සම්මානයෙන් පිදුම් ලබති.

සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම මඟින් එය පිරිනමා තිබේ.

වසර එකොළහකට පෙර වෑමැඩිල්ල ජලාශය ආශ්‍රිතව හටගත් ගොවි ගැටලු විසඳන ලෙස සිවු දිනක් තිස්සේ ගැඹුරුඔයේ මහින්ද ස්වාමීන් වහන්සේ කරන ලද මාරාන්තික උපවාසයෙන් අනතුරුව ප්‍රදේශයේ ගොවි ජනතාවට අත්කර දුන් ජයග්‍රහණ වෙනුවෙන් මෙම සම්මානය උන්වහන්සේට පිළිගන්වා තිබේ.

වෑමැඩිල්ල ජලාශයට ජලය පිරවීම හේතුවෙන් ඉඩම් හා දේපළ අහිමි වීම් සම්බන්ධයෙන් එවකට සිටි පාලකයන්ගේ අවධානය දිනාගැනීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ අරගලයක නිරත වූ මහින්ද ස්වාමීන් වහන්සේට මරණීය තර්ජන පවා එල්ලවූ බව මෙහිදී අනුශාසනාවක් පවත්වමින් මහින්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

පැවැති අරගලයෙන් අනතුරුව ප්‍රශ්න ගත ගොවීන්ට ලග්ගල ප්‍රදේශයෙන් ඉඩම් මෙන්ම සැලකියයුතු වන්දි මුදල්ද ලැබුණු බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙසේ සද්ධර්ම කිර්ති ශ්‍රී  ජාතික ගෞරව නාමයෙන් පිදුම් ලද ගැඹුරුඔයේ මහින්ද ස්වාමීන් වහන්සේ නාඋල – බිබිල විහාරස්ථානයේ සිට පෙරහරින් නිකුල විහාරස්ථානය දක්වා වැඩමවා පසුගියදා (12දා) පස්වරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් වෙනුවට පරිපාලන ග්‍රාමනිලධාරි චාමින්ද ඒකනායක   මහතාගේ සුරතින් අදාළ සම්මාන සන්නස් පත්‍රය නිකුල විහාරස්ථානයේදී පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා නැඟෙනහිර මාතලේ අධිකරණ සංඝනායක තිත්තපජ්ජල නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව දඹුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල විහාරස්ථාන රැසක පූජණීය මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

නාඋල – අයි.ඒ. කුමාර