අපේ රටේ තේ වෙළෙඳපොළ අසල්වැසියා අතට

0
296

කෘෂි කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟී තිබිණි. තේ, පොල් සහ රබර් අපනයනය ජාතික ධනය නිපදවන ප්‍රධාන ක්‍ෂේත්‍ර විය. බටහිර රටවල් ලංකාව දෙස අවධානය යොමු කළේ පිරිසුදු, උසස් තත්ත්වයේ කෘෂි නිෂ්පාදනවලට වන අතර කුළුබඩු, මිනිරන්, මුතු හා මැණික් අනර්ඝ තත්ත්වයෙහිලා සැලකීය. බටහිර රටවල් යටත් විජිත කාලයේදී එකිනෙක රටවල් සමඟ ගැටුණු අතර ලංකාවේ වෙළෙඳපොළ අල්ලා ගැනීමේ නොනවතින සටනක නිරත වූහ.  නිදහස සමඟ රටට ලැබුණ අවකාශය ප්‍රයෝජනයට ගත් ආකාරය ගැන ප්‍රශ්න තිබේ. නිදහස දිනාගෙන පාලනය අතට ගත් පාලකයන් කරන ලද පරිවර්තනය ගැන විශාල විවේචනයක් ඇත. පරම්පරාවක් අවසානයේදී තරුණ පෙළ අරගලයක නිරත අතර ඔවුහු අවස්ථා සඳහා බලකරමින් සිටිති.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බරපතළ බිඳ වැටීමකට ලක්ව ඇත. ත්‍රස්තවාදයක් තිබුණ කාලයේ නඩත්තු වූ නමුත් සාමය සමඟ අලුත් යුගයකට ඇතුළු විය නොහැකි වී තිබේ. ආර්ථික විද්‍යාඥයන් දක්වන පරිදි ගැටුම් අවසන් වූ පසු මැදි ආර්ථිකයක් දක්වා සංවර්ධනය වූ අතර තැනින් ඔබ්බට ගමන් කරන්නට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ අනුමනය කළේ නැත. ශ්‍රී ලංකාව අනුගමනය කළ වාණිජ ණය ගෙන ජනතාවට සහන සපයන සැලැස්ම රට අර්බුදයකට තල්ලු කර තිබේ. දැන් පවතින ව්‍යුහය තවත් අබල දුබලතා සහිතය. අපනයනයට ඇති අවස්ථා තවත් පිරිහෙමින් පවතී. වහාම පියවර නොගතහොත් කෘෂි අපනයන අංශය රටට අහිමි විය හැකිය. මෙම ලිපියෙන් අවධානය කරන්නේ තේ වෙළෙඳාම සම්බන්ධයෙන් අලුතින්ම මතු වූ කරුණු බව සඳහන් කරන්නට අවශ්‍යය.

ඉන්දියාවේ තේ අපනයනය සියයට විසිදෙකකින් ඉහළට

ඉන්දීය තේ අපනයන මණ්ඩල වෙබ් අඩවිය දක්වන පරිදි 2022 එනම්, මෙම වසරේ පළමු මාස හය තුළ ඉන්දියාවේ තේ අපනයනය කිලෝ මිලියන 96.89කින් වැඩි වී ඇත. එයට කලින් වසරේ සමාන කාලය තුළ අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝ මිලියන 10.43කින් වැඩිවී තිබුණ බව පෙන්වා දෙන වැදගත් කරුණකි. සාමාන්‍යයෙන් එවැනි වර්ධනයක් අභිභවා අසමාන අවස්ථාවක් ඉන්දියාවට උදාවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගැනුම්කරුවෝ ඉන්දියාව වෙත නැඹුරු වී තිබේ. ඉන්දියාවෙන් මිලදී ගෙන ඇති තේ ප්‍රමාණය කලින් වසරේ මාස හයට සාපේක්ෂව සියයට විසිදෙකකින් වැඩිවිම මෙරට බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුය.

වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති මෙරට තේ වෙළෙඳාම අර්බුදයක පවතින බව පෙනේ. එක පැත්තකින් පොහොර හිඟය හා එහි මිල වගාව නඩත්තු කිරීම සඳහා බාධාවක් වී ඇති අතර බලශක්ති ප්‍රශ්න කර්මාන්තයට තව දුරටත් අනතුරු අඟවමින් සිටී. ඉන්ධන මිල වැඩිවීම හා විදුලිය ගාස්තු සංශෝධනය තේ නිෂ්පාදන පිරිවැය නංවන හේතුවක් විය හැකිය.

ඉන්දියාවේ පවතින නිෂ්පාදනය වෙත ලෝකයේ ගැනුම්කරුවන්ගේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකාවේ තේ අපනයනය සියයට දහඅටකින් අඩු වී ඇති බව තේ තැරැව්කාර සමාගම් පිළිගෙන තිබේ. ඉන්දියාව අතට ගන්නේ එම හිඟය බව පැහැදිලිය. ගැනුම්කරුවන් තවදුරටත් පවත්වා ගැනීමට උත්සාහ නොකළහොත් ඉදිරියේදී ඉන්දීය තේ වෙළෙඳාම වෙත යොමුවනු ඇත. වසර සියයකට කලින් ලෝකයේ විශාලතම තේ නිෂ්පාදකයා සහ උසස්ම තත්ත්වයේ තේ අපනයනය කරන විශාලතම රට බවට පත්ව සිටි ශ්‍රී ලංකාව දැන් පසුබසිමින් සිටී. ජාත්‍යන්තර වාර්තා අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන තේ ප්‍රමාණය ලෝක වෙළෙඳපොළෙන් සියයට දහයක් විය හැකි  බව දැක්වේ. 1995දී එම ප්‍රතිශතය සියයට විසිතුනක්ව තිබිණි.

කුඩා තේ වතු හිමියන් ගැන පුළුල් අවධානයක්

රජයට අයත් වැවිලි සමාගම්, පෞද්ගලික අංශයේ වතු සහ කුඩා තේ ඉඩම්වලින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත අංශය සමන්විතය. තේ මණ්ඩල වාර්තා අනුව කුඩා තේ වතු හිමියෝ මෙරට තේවලින් සියයට හැත්තෑපහක් නිපදවයි. සාමාන්‍යයෙන් අක්කරයක සිට අක්කර දහයක් දක්වා තේ ඉඩම් ඇති පිරිස කොවිඩ් වකවානුවේ හා එයින් ඉනික්බිතිව පැවැති ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් වූ කොටසකි. ලොක්ඩවුන් කළ කාලයේ තේ කම්හල් වසා දමන ලද අතර අමු දලු මිලදී ගැනීම නතර කෙරිණ. පසුව තත්ත්වය සාමාන්‍ය වූ නමුත් නඩත්තු කිරීම අඩු වූ වතුවල අස්වැන්න පහත වැටී තිබිණි. පොහොර මිල කුඩා තේ වතු හිමියන්ට දරුණු සේ බලපා ඇති ගැටලුවකි.

පොහොර ආනයනය නතර කර කාබනික පොහොර යොදන සේ බල කරන ලද පසුබිමක් පැවැති කාලයේ වගාව දුර්වල විය. පොහොර සහනාධාර ඉවත් කිරීම සමඟ මිල දෙගුණ තෙගුණ වී ඇත. නිසි අස්වැන්න සඳහා නියමිත පරිදි පොහොර යෙදිය යුතු අතර පොහොර අඩුවීම මත දලු නෙළා ගැනීම පවා දුෂ්කරය. තේ දලුවල බර අඩු වී තිබේ. ඉඩම් කොටසේ අස්වැන්න අඩුවන අතර ශ්‍රම වියදම පාලනය කිරීම අරමුණු කරගෙන අස්වනු නෙළන දින ගණන වෙනස් කර බර වැඩි කරගැනීමට උත්සුක වන කුඩා වතු හිමියෝ එමඟින් ගුණාත්මක තේ නිෂ්පාදනයට බාධා ඇති කරන බව දන්නේ නැත.

තේ වගාවෙන් ජීවත්වන පිරිස ලක්ෂ හතරක් පමණ වෙති. රට පුරා තේ කම්හල් හත්සියයට වැඩි ප්‍රමාණයක් තිබේ. සාමාන්‍යයෙන් වසරකට තේ කිලෝ මිලියන 300ක් පමණ නිෂ්පාදනය කරයි. අපනයනය කරන තේවලින් රටට ලැබෙන විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.25ක් පමණ වේ. මෙම මුදල තේ කර්මාන්තය වටා ඇති ආර්ථිකය පවත්වාගෙන යන පදනම බව සඳහන් කළ යුතුය. ඉන්දියාව දිනා ගන්නේ මෙම අංශයෙහි වැදගත් කොටසක් බව මතක් කළ යුතුව තිබේ.

තේ සඳහා ඉල්ලුම අඩුවන විට එය කුඩා තේ වතු හිමියන්ගේ ආදායමට ප්‍රශ්නයකි. දකුණේ සහ කළුතර සහ සබරගමුව දිස්ත්‍රික්කවල ජනතාව යැපෙන මාර්ගය තේ වගාව වන අතර ආදායම අඩුවන විට සංකීර්ණ තත්ත්ව ඇතිවේ. වගාව නඩත්තුව සඳහා ඇති උනන්දුව අඩුවීම සැලකිය යුතු කරුණකි. ලංකාවේ තේ සඳහා ඉල්ලුම නැවත ඇතිවන විට සැපයුම අඩාලවීමක් අපේක්ෂා කළ හැකිය. තේ කර්මාන්තයෙහි පැවැත්ම ගැන අවධානයෙන් සිටින පිරිස් විශේෂයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වැනි ආයතන මෙම අවදානම ගැන සෙවිල්ලෙන් සිටීම සුදුසුය. ආයතනය වඩා දක්ෂ ක්‍ෂේත්‍ර නිලධාරීහු කණ්ඩායමක් සිටිති. වතු නඩත්තුව, පොහොර යෙදීම, වල් පාලනය ඇතුළු අංශ ගැන දැන් සිටම උපදෙස් නිකුත් කළහොත් තේ අපනයන ප්‍රශ්නය ඉදිරියේ මධ්‍යස්ථ විය හැකිය.

වතු කළමනාකරණය ද අවධානයට ගත යුතුය

රජයට හා පෞද්ගලික අංශයට අයත් වතු සමාගම්ද තේ නිෂ්පාදනය හා පිරිවැය ඉදිරියේ ගැටලුවක බව දැක්වේ. පවතින ජීවන වියදම සලකා වැටුප් වැඩි කරන බලකිරීමක් කාලයක සිට පවතී. වතු හාම්පුතුන් රජය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර පවතින අඩු ආදායම ඉදිරියේ වැටුප් සංශෝධනය කළ නොහැකි බව පෙන්වාදී ඇත. වතු වෘත්තීය සමිති වැටුප් යෝජනා ඉදිරිපත් කරන අතර පසුගියදා තිරිඟු පිටි මිල ඉහළයෑම සමඟ මෙම ප්‍රශ්නය අලුත් මුහුණුවරක් ගන්නට ඉඩ ඇත. වතුකරයේ තිරිඟු පිටි භාවිතය වැඩිපුර සිදුවන අතර පිටි සහනාධාරය ආණ්ඩු වරින් වර ප්‍රකාශයට පත් කරන්නේ වතු කම්කරුවන්ගේ පැවැත්ම සලකා බලා බව මතක් කළ යුතුව ඇත.

තේ නිෂ්පාදන පිරිවැය වැඩිවීම තුළ ශ්‍රම වියදම සෑහෙන සාධකයක්ව තිබුණ අතර දැන් පවතින තත්ත්වය අනුව ඉන්ධන හා විදුලිය ගාස්තු එයට එකතු වී තිබේ. වතු සමාගම්වල ලාභතීරු අඩු වී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමහර වැවිලි සමාගම්වල කොටස් සඳහා ඉල්ලුම අඩුවීම සමාගම්වල මූල්‍ය තත්ත්වය හෙළිදරව් කරයි. ඇතැම් වැවිලි සමාගම් බෝග විවිධාංගීකරණයට යොමු වී ඇත. එය සුදුසු යෝජනාවකි. එළවළු හා පලතුරු වගා කරන අතර දේශීය පමණක් නොව විදේශීය වෙළෙඳපොළද ඉලක්ක කර ඇති බව පෙනේ.

සාම්ප්‍රදායික වශයෙන් තේ තොග අපනයනය කරන ශ්‍රී ලංකාව එයින් වැඩිම කොටසක් කළු තේ වශයෙන් පිටරටවලට යවයි. මේවා මිලදී ගන්නේ කහට එනම් වැඩි වාරගණනක් තේ පෙරාගත හැකි සීතල රටවල්ය. උණුසුම් පානයක් වශයෙන් තේ වෙළෙඳ පොළ සකස් වී තිබේ. කර්මාන්තයේ නියැළී ඇතැම් සමාගම් මෙහි වෙනස්කම්ම අත්හදා බලමින් සිටී. කාබනික තේ නිෂ්පාදනය අරඹා ඇත. මෙහිදී රසායනික පොහොර භාවිත නොකෙරේ. එය ආදායම අඩු නමුත් සීමිත ඉල්ලුමක් ඇති අංශයකි. තේ නිෂ්පාදන පිරිවැය පාලනය කරන අතර අලුත් වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා පර්යේෂණ කළ යුතුව ඇත. උණුසුම් රටවලට සීතල පාළනයක් වශයෙන් තේ හුරු කරන අලුත් ක්‍රම උපයෝගි කරගතහොත් ඉන්දියාව ලබාගත් වෙළෙඳපොළ වෙනත් ක්‍රමයකට නැවත අත්පත් කරගත හැකි බව මෙහිදී සඳහන් කළ හැකිය.

ඉන්දියාව සමඟ එකට එකතුවන රාමුවක්

අලුත් වාර්තා අනුව ඉන්දියාවේ තේ අපනයනය කිලෝ මිලියන 200 නොඉක්මවයි. චීනය, කෙන්යාව වැනි රටවල් ඉන්දියාවට අභියෝගයකි. ලෝකයේ අඩු ශ්‍රම වියදම සහ විශාල ඉඩම්හිමි මෙම රටවලට තේ වගාවේ වෙනස්කම් කළ හැකිය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව කලාපයේ රටවල් වශයෙන් ලෝක තේ සැපයුම පාලනය සඳහා ඉදිරිපත් විය හැකිය. දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවේ තේ වෙළෙඳපොළ ඉන්දියාව අයිති කර ගැනීම ගැන සාකච්ඡා කරමින් එය නැවත ඩැහැගැනීමට ක්‍රියාකිරීම වෙනුවට රටවල් දෙක එකතු වී තේ සැපයුම අලුත් අවකාශයක් හදනු ඇත.

තේ අලෙවිය, ප්‍රචාරණය සඳහා ලෝක ව්‍යාප්ත අඛණ්ඩ සැලැස්මක් ගෙන යා යුතු අතර ශ්‍රී ලංකාව වැනි රටක දැනට පවතින විනිමය හිඟය මත එයට අවකාශය සීමිතය. අනෙක ඉන්දියාවට ඇති ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ජාලය පුළුල්ය. රුසියාව, ඉරානය වැනි රටවල් සමඟ වෙළෙඳ කටයුතු කරයි. ඉන්දියාවේ ආනයන හා අපනයන වෙළෙඳ පරතරය පුළුල්ව පවතින රටවල් ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීමට වඩා ඉන්දියාවෙන් ගැනීමට කැමැතිය. ඉන්දියන් තේ වෙනුවට ශ්‍රී ලංකා තේ නාමය ලෝක ප්‍රසිද්ධ බව නොරහසකි. දෙරට අතර වරාය සම්බන්ධතා දියුණුව මත ඉන්දියාවෙන් ගෙන්වන තේ මෙරටදී මිශ්‍ර කර නැවත ඇසුරුම් කළ හැකිය. මේවා ලෝකයේ දැනට සිදුවන අලුත් අවස්ථා අතර තිබේ. දෙරට අතර සහයෝගිතාව ඇති කළහොත් තේ කර්මාන්තයේ තොග වෙළෙඳාම වෙනුවට ඇසුරුම් කළ තේ අපනයනය කළ හැකි අතර එය විනිමය අතිරේකව උපයන මාර්ගයකි.

ශ්‍රී ලංකාවේ තේ වෙළෙඳපොළ සම්බන්ධව පවතින ගැටලු වෙනම සාකච්ඡා කළ යුතු අතර එහිලා ක්‍රියා කළ හැකි ප්‍රබල ආයතනයක් අවශ්‍යය. සුපුරුදු පරිදි තේ වෙන්දේසිය, තේ ප්‍රචාරණය හෝ තේ වගා කිරීමට සහනාධාර සැපැයීමට වඩා එපිටින් ගිය නවතම අංග ඇතුළු කළ යුතු අතර තේ වගා කරන කුඩා තේ වතු හිමියන් සමඟ සමීපව ක්‍රියා කර මතුවෙන තත්ත්වවලින් ගැලවෙන මාර්ග සොයාගත යුතුව තිබේ.

ශාමින්ද වත්තේගෙදර