අන්තර්ජාල ගෙවීම්  පහසු කරමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය BOC සහ HNB සමඟ අත්වැල් බැඳගනියි

0
41

ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය වීසා සහ මාස්ටර් කාඩ් ගෙවීම් සඳහා නව අන්තර්ජාල ගෙවීම් ද්වාර හ¾දුන්වා දෙමින් මෙරට කීර්තිමත් දේශීය බැංකු වන ලංකා බැංකුව (BOC) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට එළැඹ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් වීසා හෝ මාස්ටර්කාඩ් භාවිතයෙන් ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයන්ට පහසු ගෙවීම් විකල්ප සමඟින් ඉතා ආරක්ෂිත උසස් පරිශීලක අත්දැකීමක් මෙමඟින් ලබාගත හැකිය.

BOC සහ HNB මඟින් බලගැන්වෙන ශ්‍රීලන්කන් හි වැඩිදියුණු කරන ලද Visa සහ Mastercard ගෙවීම් ද්වාර පද්ධතිය පාරිභෝගිකයන්ට ගෝලීය මුදල් ඒකක 42කින් මුදලින් ගෙවීමේ විකල්පය ලබා දෙයි. HNB-Cyber Source ‘Decision Manager’ මෙවලම මඟින් පද්ධතියට ගොඩනඟා ඇති උසස් ක්‍රමවේදය හේතුවෙන් පාරිභෝගිකයන්ට ආරක්ෂිතව සිය ගනුදෙනු සිදුකිරීමේ හැකියාව පවතී.

 මෙමඟින් ශ්‍රීලන්කන් වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් සෘජුවම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වෙනත් අද්විතීය ප්‍රතිලාභද හිමිකර ගත හැකිවේ. මෙයට අඩුම ගාස්තු,  සේවා ගාස්තු රහිත විශේෂිත ප්‍රතිලාභ ඇතුළත් වන අතර කිසිදු ගාස්තුවකින් තොරව පිටත්වීමට පැය 24කට පෙර පළමු දිනය වෙනස් කිරීමට සහ ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට හැකියාව පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වාණිජ සේවා සහ සහාය ජේ‍යෂ්ඨ කළමනාකරු, කොන්රඩ් රෙෂාන්ත මහතා ‍මෙසේ පැවැසීය. “අනාගතයේදී ගුවන් සේවා වෙන්කරවා ගැනීම බොහෝදුරට ඩිජිටල් ක්‍ෂේත්‍රයට අන්තර්ගත වනු ඇත.  ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් හි මාර්ගගත වෙන් කිරීමේ නාළිකාව අති නවීන සහ පරිශීලකයන්ට පහසු අත්දැකීමක් ලබාදීම සඳහා පුළුල් කර තිබෙනවා. විශේෂයෙන් අමතර ඉඩකඩ සහිත ආසන, අමතර ගමන් මලු, විශේෂ ආහාර සහ ගමන් රක්ෂණ ඇතුළුව අපගේ මගීන්ට ගුවන් ගමන් සඳහා අතිරේකව අවශ්‍ය ඕනෑම සහායක සේවාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම දැන් හිමිව තිබෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.