අත්‍යවශ්‍ය බෙහෙත් ගේන්න ඩොලර් මිලියන 100ක්

0
19

අත්‍යවශ්‍ය ඔෟෂධ මිලදී ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියට වෙන්කර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදලක් මෙලෙස ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (13දා) එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ හා ආපදා අවම කිරීමේ පියවර මඟින් නාය යෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිවල විෂය පථයන් සංශෝධනය කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් කඩිනමින් සලසා දීමට එම බැංකුව එකඟතාව පළ කර ඇතැයි සඳහන්ය.

ඒ අනුව කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 70ක සහ ආපදා අවම කිරීමේ පියවර මඟින් නාය යෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 30ක අරමුදල් අත්‍යවශ්‍ය ඔෟෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

සවනි ශේශාධි