භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්නේ කවදා ද?: රජයේ පිළිතුර

0
381

විදේශ විනිමය ගැටලුව විසඳුණු විගස ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට සූදානම් බව වැඩ බලන කැබිනට් ප්‍රකාශක කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (සැප්. 13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, මෙය තාවකාලිකව සිදු කළ තහනමක් බව ත් එය ක්‍රමානුකූලව වෙනස් වන බව ත් ය.

“ආනයන තහනම හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට, අමුද්‍රව්‍ය සහ උපාංග ඇතුළු අවශ්‍යතා රැසක ගැටලු මතු වෙලා තිබුණා. ඒක තාවකාලික පියවරක්. අපි ඒක සතිපතා හෝ සති දෙකකට වරක් සමාලෝචනය කිරීමට රජය තීන්දු කරලා තියෙනවා. අත්‍යවශ්‍යයෙන් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය නිදහස නැවත ලබා දෙනවා. ඒ නිසා එය ලැයිස්තුව ස්ථිර එකක් නෙවෙයි. ඒක අවශ්‍යතාවන් පරිදි ඉදිරියේදී වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. කර්මාන්තකරුවෝ මේ පිළිබඳව එතුමන්ලාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නැවත ඔවුන්ට වෙනස් කරලා දෙන්න කටයුතු කරනවා. එම නිසා එම සංශෝධනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඒක ස්ථිර ලැයිස්තුවක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනස් වෙනවා.”