පරිගණක ඉන්ජිනේරුවෙක් කොම්පියුටර් ජිල්මාට් එකකින් වකුගඩු-පිළිකා රෝගීන්ගේ මිලියන ගණනකට විදලා

0
197

පිළිකා සහ වකුගඩු රෝගීන් විසින් ඔවුන්ගේ සැත්කම් සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙසට පළ කරන ලද විවිධ දැන්වීම්වල සඳහන් ජංගම දුරකතනවලට සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් වංචා සහගත ලෙස ලබා ගත් විසිපස් හැවිරිදි මෘදුකාංග ශිල්පියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (සැප්. 12) අත්අඩංගුවට ගත්තේ ය.

මොහු සිංගප්පූරුවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරු පාඨමාලාවක් හදාරා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

සැකකරු මේ වනවිට රුපියල් මිලියන 10ක පමණ මුදලක් මෙලෙස තම ගිණුමට බැර කරගෙන ඇති අතර අහිංසක රෝගීන්ගේ තවත් විශාල ප්‍රමාණයක ගිණුම්වලින් මොහු මුදල් වංචා සහගත ලෙස ලබා ගෙන ඇති බව ත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව ත් එම දෙපාර්තමේන්තු නිලධාරියෙක් සඳහන් කළේ ය.

මේ වන විට මෙලෙස ගිණුම්වලින් මුදල් ලබාගත් බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 7ක් ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

පිළිකා සහ වකුගඩු රෝගීන් තම රෝගී තත්ත්වය ප්‍රකාශ කරමින් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා පුවත්පත්වල සහ සමාජ මාධ්‍යවල පළ කරන දැන්වීම්වල සඳහන් දුරකතන අංක සහ සම්බන්ධවෙමින් ඔවුනගේ ගිණුමකට රුපියල් ලක්ෂයක් තමා විසින් දමන බව ප්‍රකාශ කොට රෝගීන්ගේ බැංකු ගිණුම් අංකය සහ (OTP) කේත අංකය මොහු ලබාගෙන ඇත.

පසුව අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ස්ථාපනය කර ගනිමින් සංකේත අංකයක් ඔස්සේ රෝගීන්ගේ ගිණුම්වලට බැරවෙන මුදල් මොහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි මත සැකකරු ගැන අවධානයෙන් පසු වෙද්දී සැකකරු ලොජ් එකක නතරව සිටියදී වේල්ලවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුව ලැබුණු බුද්ධි තොරතුරු මත සැකකරු හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ගෙනවිත් ප්‍රශ්න කරද්දී මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති සැකකරු ඒ ඔස්සේ තවත් අපරාධවල නිරත වී ඇත්දැයි සෙවීමට දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරේ.

වකුගඩු සහ පිළිකා රෝගියෙකු ලෙස ඔබත් වංචාවලට හසු වී ඇත්නම් වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

සැකකරු මෙලෙස මුදල් වංචා කර ගැනීමට යොදාගත් ගිණුම් අංක, සිම් පත් සහ බැංකු පොත් රැසක් ද මේ වනවිට නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සිරි මහතාගේ මෙහෙයවීමෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර දයාශ්‍රි ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක නිශාන්ත, සැරයන්වරුන් වූ කුමාර (64160), අරුණ ශාන්ත (18513), කොස්තාපල්වරුන් වන සංජීව (93399), විරංග බණ්ඩාර (68813) සහ මහේෂ් චන්ද්‍රකුමාර (71191) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.