Park එකේ මුණගැහෙන ශෝක් පොරවල්

0
73

අද උදේ ගණේමුල්ලේ බස්ටෑන්ඩ් එකට වෙලා ගම්පහට යන බස් එකක් එනකන් හිටන් උන්නා පැයක් විතර. ඊටත් ටික වෙලාවකට පස්සේ ත්‍රීවීල් අයියෙක් නතර කරලා ගම්පහටද යන්නේ, බස් එකේ ගාණමයි ගන්නේ, නඟින්න නඟින්න, කිව්වා. ගම්පහට යන්න උන්නු වෙලාවටත් වඩා පැය භාගයක්ම පරක්කු වෙලා නිසා දඩි බිඩි ගාලා රතු පාටට දිලිහි දිලිහි තිබ්බ ත්‍රීවීලර් එකට නැග්ගා. තව නැන්දා කෙනකුයි, අක්ක කෙනකුයි මා එක්කම නැග්ගා. ඉතිං බස් එකේ ගාණ කිව්ව නිසා බොරුවට වේළි වේළි බස්ටෑන්ඩ් එකේ ඉන්නෝන නෑනෙ.

හොඳම සීන් එක වුණේ ගම්පහට කිට්ටු කරලා. ටුක් ටුක් අයියා ගම්පහට කිට්ටු කරල කිව්වෙ නැතෑ, 500ක් හදලා  දෙන්න නංගි තුන් දෙනාගෙන්ම කියලා. බස් එකට යන්න තිබ්බ රුපියල් හැට විතරක් අතේ තිබ්බ මට දෙවි පිහිටයි ඉතිං. හොඳ වෙලාවට අර අක්කයි, නැන්දයි උන්නෙ. ගම්පහටම ඇවිල්ලා තිබ්බ නිසාත් මේ වෙද්දීත් හොඳටම පරක්කු හින්දත් ටුක් ටුක් අයියට අමතන එක පැත්තකින් තියලා මම බැහැලා ගියා ගුවන් පාලම ගාවින්. ගෙදර එනකන්ම කල්පනා කර කර ආවෙත් ටුක් ටුක් අයියලා ගැන. ඉතින් මේක ගැන නොලියාම බෑ කියලා හිතෙන්නෙත් අද උදේ වුණු සිද්ධිය නිසා.

ත්‍රීවීල් පාක් එකේ හෝ වේවා, මඟතොටේ, කඩපිලේ හෝ වේවා මුණගැහෙන ටුක් ටුක් අයියලා විසමයි. හරියට නිකන් අතේ ඇඟිලි පහ වගේ. කැටගරි ගොඩයි.

DJ කාපර්

මම අකැමැතිම වර්ගයේ ටුක් ටුක් අයියලා කැටගරියක් තමයි ඩිකියට කැසට් එකක් සෙට් කරගෙන ත්‍රීවීල් එකේ එන්ජිමේ සද්දෙටත් වඩා වොලියුම් වැඩි කරලා බූට් කාපු සින්දු දාගෙන යන කැටගරිය. ඔය වගේ ත්‍රිවීල් එකකට නැග්ගම මට නම් බහිනකන් ඉවසිල්ලක් නෑ ඉතින්. බහින්න ඕන තැනට යනකන් පාර මොකක්ද කියල අපිත් ලව්ඩ්ස්පීකර් දාන් කෑ ගහන්නෝන ටුක් ටුක් අයියට ඇහෙන්ඩ. ඇයි ඊට වඩා සද්දෙන් අයියගෙ කැසට් එක හූ කියනවනෙ.

උපාසක ඩ්‍රයිවර්

තව කට්ටියක් ඉන්නවා මහණ වෙන්නම ඉපදිලා ටුක් ටුක් පදින රස්සාව කරන්න වුණු. උදේම දම්සක් පැවතුම් සූත්‍රයෙන් පටන් ගත්තම රෑ දහය, එකොළහ වෙනකන් පිරිත් දාලා. පිරිත් විතරමයි ඉතිං . පිරිත් නම් ඉතින් ඇහුවත් මොකද අර කෝච්චි එන්ජින් වගේ බූට් සින්දු කියන කැසට් එකක් දාගෙන යනවට වඩා.

Five Star ටුක් ටුක්

ආයෙ ඉන්නව ටුක් ටුක් අයියලා කට්ටියක් හප්පා ඒක තමයි මම නම් ආසම කැටගරිය. අපේ එහා ගෙදරත් උන්නා එහෙම ටුක් ටුක් අයියෙක්. පොර සතියට දවස් පහක් විතර ත්‍රීවීලර් එක හෝදනවා ඒකත් ෂැම්පු දාලා. ඊට පස්සේ ඩෑෂ් බෝඩ් එක පොලිෂ් කරල, වින්ඩ්ස්ක්‍රීන් ක්ලීන් කරලා සුපිරියට ටුක් එක තියන් ඉන්නව ඉතින්. පුළුවන් නම් උන්දැලා ඕක ටයිල් කරලා කර්ට්න් පවා දායි, ඒ තරම් සැලකිලි ටුක් එකට. ගිය ආත්මෙ පින් කරපු ත්‍රීවීල් ඉතිං, එච්චරක් ලස්සනට ජීවත් වෙනවා. ටුක් එකට නැග්ගම සුවඳයි. ඉතින් පර්ෆියුම් ෂොප් එකකට ගියා වගේ තමා.

පිරිත් හබ් ටුක් ටුක්

උදේ පාන්දරම ඩෑෂ් බෝඩ් එකේ ඇලවිලා ඉන්න බුදු සාදුට හරි, ජේසුතුමාට හරි මල් තියලා හ¾දුන්කූරු ගහන සෙට් එකකුත් ඉන්නවා. ආගමට දහමට ළැදි පොරවල් මොනා වුණත්. ආගමානුකූලව දවස පටන් ගන්න එකත් ඉතින් බොහොම වටින දෙයක්නෙ එක අතකට.

දේවාල වගේ, කෝවිල් වගේ ත්‍රීවීල් තියෙන උදවියත් ඉන්නවා, කොයිවෙලේ බැලුවත් ටුක් එකේ දෙයියො වැඩලා. ෂීට් එකේ ඉඳගන්න ඉඩත් නෑ ප්‍රින්ට් එකේ ඉන්නෙත් දෙයියෝ. වින්ඩ්ස්ක්‍රීන් එක වටේටත් තිස් තුන් කෝටියෙන් හැට හැත්තෑවක් විතරම වැඩලා ඉන්නවා හතර අතට . මල් මාලා දාලා, බල්බ් වැල් එල්ලලා තනිකරම තොරණක විලාසය. මොනා වුණත් බලන් ඉන්න ආස හිතෙනව. චිත්තාකර්ෂණීයයි ඉතිං. පොලිසියෙන් නවත්තලා වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පැහැදිලිව පාර පේන්නෑ  වැඩලා ඉන්න හැට හැත්තෑවට ආපහු දිව්‍යලෝකෙටම වඩින්න කියන එක තමා එකම අවුල.

බැලුවොත් හැහුවා

හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ටුක් ටුක් අයියලව හම්බෙලාම නැද්ද ඔයාලට, මට නම් අනන්තවත් හම්බෙනවා. පාර කියනකොට ගොඩක් වෙලාවට වම දකුණ මාරු වුණාම තමා ඔය ටුක් ටුක් අයියලගේ හොස්ස ගාවින් මැස්සා දඩස් ගාලා පියාඹන්නේ. ඉතින් එතැන ඉඳන් ගෙදරට යනකන්ම නේකවිධ ඇනුම් බැනුම් අහන් යන්නයි තියෙන්නෙ. “ත්‍රීවීල් එකකට නැඟලා පාරක් කියාගන්න දන්නෑ අපේ කාලෙත් කනවා” කිය කියා. ඇත්ත තමයි ඉතිං අපිට වටින්නැති වුණාට උන්දැලට කාලය වටිනවානෙ. ඇරත් පාරක් හරියට කියාගන්න බැරි එකත් අපේ වරදනෙ.

කළුකඩ වීල්

මීටරයක් විතර ගිහින් තුන්සීය, හාරසීය ඉල්ලන ටුක් ටුක් අයියලා නම් බිහි වුණේ මේ ඊයේ, පෙරේදා හැබැයි. ඇත්ත ඇත්ත. ඒවා ඉතිං ටුක් ටුක් අයියලා විසින් නිර්මාණය කරපු අර්බුද නෙවේ නොවැ. කවුරු කවුරුත් ඒවාට දිවි හිමියෙන් වගකියන්ටෝන.

කච කච ටුක් ටුක් බේ‍රා්

වීල් එකට නැග්ග වෙලේ ඉඳන් ආගිය තොරතුරුයි, රට තොට ගැනයි, දේශපාලනේ ගැනයි කියව කියව ගේ ගාවටම එනකන් කියවලා ගෙදරින් බස්සලා තවත් චුට්ටක් වෙලා කියවන ටුක් ටුක් අයියලත් ඉන්නවා. ඕකෙ ඉතිං දෙපැත්තක් තියෙනවා. කට්ටියක් ඉන්නවා කියවන්න කැමැති. උන්දැලාට නම් ඉතිං ඕක හරි කික් එකක්.

ගේ ගාවට එනකම් බුම්මන් එන එකේ කයියක් ගහන් එන්න පුළුවන්නෙ. අනික් කොට්ඨාසේ තමා කියවන්න අකැමැති සයිලන්ස් මිනිස්සු. මෙයාලට නම් ඉතිං මේක කන්‍ෙදාස්කිරියාවක්. ගොඩක් වෙලාවට මෙයාලගෙන් ටුක් ටුක් අයියට ප්‍රතිචාරයක් නොලැබුණාම ටික දුරකින් අයියා කියවන එක නවත්තනවා, හැබැයි පෙළක් අයියලා ඉන්නවා පටන් ගත්තු ගැම්මෙන්ම ප්‍රතිචාර නැතුව වුණත් කියවගෙනම යන.

වදන් පදන් ආටා ලවර්

ඔය ත්‍රීවීල් එක්ක අවියෝජනීය බැඳීමක් තමා මම දැකලා තියන විධියට පිටිපස්සේ ගහන වදන්වලට තියෙන්නේ. ඔය වදන් සීන් එක ගත්තම මට මතක් වෙනවා සුනන්ද කරුණාරත්නයන්ගේ කවියක් “මං ත්‍රීවීල්කාරයා” කියලා.

“COLOMBO EXPRESS 

තාරුකා දූ, ෂෙහාන් බබා

ඔය ඇස් අමතක වෙන්න නම්

මගෙ ඇස් පියවෙන්න වෙයි

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත

වද්දන්න එපා ගත්තෙ අමාරුවෙන්

පුංචිකමට දඟ කළාට එපා රවන්න

අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්

Che Guvera Want You To Rebel 

පිල්ලෑවෙ බෝ සමි¾දු පිහිටයි”

ඔන්නෝකයි ඒ කවිය. ගොඩක් ත්‍රීවීල්වල අපි දකින වදන් තමා ඉතින් ඔය කවියේ තියෙන්නෙත්. ගොඩක් වෙලාවට ටුක් ටුක් අයියගේ ඉමෝෂන්ස් ටික ටුක් ටුක් වදනෙන් පිටවෙනවා කියලා ඒ වදන් කියෙව්වම තේරෙනවා. ලව් ඇරියස්, පොලිටිකල්, ඇරියස් වගේ නේක ඇරියස් කවර් කර ගන්නත්, අම්මා තාත්තා කියලා විසාලෙට වදන් ගහලා ආදරේ පෙන්නන්නත් ආටා එකේ පස්සා පැත්ත ලොකු උදව්වක්.

ටැටු ඔස්තාර්

ඔය ටුක් ටුක් වදන් වගේමයි ටුක් ටුක් ටැටූස් අයියලත් ඉන්නවා. ත්‍රීවීලර් එකේ  චේ ගුවේරාගෙත්, ජොනි ඩෙප්ගේ ඉඳන් හාල්මැස්සා, තිලාපියාට යනකන්ම සමහරු ටැටූ ගහනවා. ඒකත් ඉතින් එක්තරා ආට් එකක් නොවැ. කොහොම වුණත් ෆේස්බුක් එකේ උඩට පහළට යනකොට හිරුණ හිමංශගේ  ගිණුමෙ දැක්ක පුංචි වචන කිහිපෙකුත් මෙතැනින් සටහන් කරන්න ඕන.

“තාප්පවල සහ ත්‍රීවීල්වල සිටි චේ ගුවේරලා සහ බොබ් මාලේ ලා, මිනිසුන්ගේ හදවත් තුළත් සිටියා නම්,

hiruna 

ඔතැනින් එහාට ඒ ගැන සටහනක් නොතියන්නේ ඔයාටම ඒ වචන ටික හිතන්න භාර දීලා!

ලෝ බජට් කෆීර්

කෆීර් එකක් ගන්න ආසාවෙන් ඉඳලා, අම්මලගේ කැමැත්තට වීල් එකක් ගත්ත ආට අයියලාත් ඉන්නවා ඉතිං. ඉඳගත්තු වෙලේ ඉඳන් කොයි වෙලේ ස්වර්ගස්ථ වෙයිද කියලා හිතාගන්න බෑ යන වේගෙට. ඕකෙම ඔපසිට් සෙට් එකකුත් ඉන්නවා. ගමනට වෙලාව තියලා ටුක් එකට නැග්ගම පැය බාගෙ ගමන පැය දෙක තුනකින් යන ටුක් ටුක් අයියලා. යනකන් ඇගේ මාළු නටනවා. ඩෑෂ් බෝඩ් එකේ තිබ්බ බුදු පිළිමෙ හරි, වින්ඩ්ස්ක්‍රීන් එකේ උන්නු දෙයියෙක් දැකලා හරි කෝප ගිනි නිවාගත්තු වාර අනන්තයි අප්‍රමාණයි.

වම දකුණ ටුක් ටුක්

තව ටිකෙන් අමතක වෙනවා ගූගල් මැප් එක ඔන් කරන් පාර අහ අහා යන ටුක් අයියල ටික. හයියෝ සංසාරේ ගූගල් අක්කා කෑ ගහ ගහා ටර්න් ලෙෆ්ට්, ටර්න් රයිට් කියනකොටත් මෙතැනින් වමටද මෙතනින් දකුණටද කියලා අහනව ඉතින් මේ අයියල ටික.

හිත හොඳ ඩ්‍රයිවර්

ඔය සෙට් ඔක්කොම අස්සේ තව සෙට්ටෙකක් ඉන්නවා. බොහොම සාධාරණ විධියට ගාණක් හම්බු කරගන්න, දුවගේ, පුතාගේ ක්ලාස් ෆී එක ගෙවන්න, ගෙදරට අලයක්, පොලයක් ගෙනියන්න කට්ට කන ටුක් ටුක් අයියලා. හැමෝටම අමාරු කාලයක් කිය කියා ටුක් එකට නඟින හැමෝගෙන්ම හූරගෙන නොකා සාධාරණ මිලක් කියන ආටා අයියලට එකෙන්ම රෙස්පෙක්ට් .

මේක කියවන ඔයත් ටුක් ටුක් අයියෙක් නම් මොන කැටගරියෙද ඔයා ඉන්නෙ කියලා හිතලා බලන්න. සමහරවිට කැටගරි දෙක තුනකම ඔයා ඉන්නවා ඇති. රෝද තුනකින් ජීවිතේ ගැටගහනවා කියන්නෙත් සෙල්ලමක් නෙවෙයි.

පවනි වාසනා