කුරුණෑගල ඛේදවාචකය: මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්න හමුවේ ඇතැම් නිලධාරීහු ‘නිරුත්තර වෙති’

0
418

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාණුවකට ඇද වැටී 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා කුරුණෑගල මහ නගර සභා නාගරික කොමසාරිස්වරයා, කුරුණෑගල ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අද (සැප්. 13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු mawbima.lk වෙත ප්‍රකාශ කළේ , අදාළ සිදු වීම සහ නාගරික ඉදි කිරීම් ඇතුළු කරුණු පිළිබඳව එහිදී අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ය.

කුරුණෑගල මහ නගර සභා නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් එහි පැමිණ සිටි නිලධාරියා ලබා දුන් ප්‍රකාශය අනුව, නගර සභා බල ප්‍රදේශයට අදාළව අනවසර ඉදිකිරීම් මෙන් ම ඒවා සඳහා විධිමත් ලෙස කටයුතු කිරීම නගර සභාව මගින් සිදු වී නොමැති බවට අනාවරණය වී ඇත.

ඇතැම් කාණු ඉඩම් මැදින් සාදා ඇති බව ත්, එවැනි දෑ සිදු වූයේ කෙසේ ද? යන්න පිළිබඳව විමසීමේදී නගර සභාවේ නිලධාරියා නිරුත්තර වූ බව ත් මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, අදාළ සිද්ධිය සිදු වීමට නගර සභාවේ ක්‍රියාත්මක නොවීම බොහෝ දුරට බලපා ඇති බව ය.

මෙම විමර්ශන කටයුතු සඳහා මිය දරුවාගේ පාර්ශවය ද කැඳවා තිබුණු නමුත්, ඊට සහභාගි වීමට තරම් මානසික මට්ටමක නොසිටින බවට මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන් බව එහි නිලධාරියා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, එවැනි අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වීමට බලපෑ සාධක මෙන් ම, එවැනි දෑ ඉදිරියේදී සිදු නොවීමට අදාළ ආයතන ගත යුතු පියවර පිළිබඳව ද මෙම විමර්ශනයේදී අවධානය යොමු කරන බව ය.

අදාළ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසු ගිය දා එහි ගොස් තිබිණි.

සැප්තැම්බර් 5 වන දා දහවල් 2.00ට පමණ පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවස වෙත යමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩ දීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩ වන විට ඔහුගේ පය ලිස්සා ඒ තුළට ඇද වැටී තිබිණි.

අනතුරුව කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශ වාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා බැකෝ යන්ත්‍රයක් ද යොදා ගනිමින් කාණුවේ කොන්ක්‍රීට් තට්ටු ඉවත් කර සිසුවා ගොඩ ගෙන තිබිණි.

ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණු අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබිණි.