රෝගී දැරියක අපයෝජනය කළැයි කරාපිටියේ ‍ෙදාස්තරට ලක්ෂ 3ක ඇප

0
224

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන වෛද්‍යවරයා ගාල්ල පොලිසිය විසින් ඊයේ (සැප්. 12) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඒ, නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වීමෙන් අනතුරුව බව වාර්තා වේ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව දැරියගේ මව විසින් ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ. හබරාදූව පොලිස් වසමේ අඟුළුගග, කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මොහු දෙදරු පියෙකු බව පොලිසිය කියයි.

සැකකරු ඊයේ (සැප්. 12) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත නිදහස් කෙරුණු අතර ඊළඟ නඩු වාරය දෙසැම්බර් මස 14 වන දා කැඳවීමට නියමිත ය.

උදරයේ පැවති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා 15 හැවිරිදි දැරිය සිය මව ද සමග ගාල්ල කරාපිටිය රෝහලට ගොස් තිබිණි.

පසුව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ගත් දැරිය ඉකුත් 8 වන දා ස්කෑන් පරීක්ෂණයක් සඳහා විකිරණ අංශයට ඇතුළත් කර තිබේ.

ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමේදී මෙම වෛද්‍යවරයා දැරියට කිසියම් බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇති බව දැරිය නේවාසිකව සිටින වාට්ටුවට රැගෙන ගිය පසු ඇය සිය මවට පවසා ඇත.

පසුව මේ බව දැරියගේ මව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ද දන්වා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කර තිබේ.

ඒ අනුව, සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී ඔහු රෝහලෙන් අතුරුදන් වී ඇත.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කෙරිණි.

මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය අමරසිංහ ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව තම අධිකාරියට පැමිණිල්ලක් ලැබී නැතත් මාධ්‍යවලින් දැනගත් පසු විමසා බැලූ බව ය.

මේ වන විට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය එහි විමර්ශන කටයුතු කරන බව ත් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වින්දිත දැරිය ඉදිරිපත් කොට ඇති අතර බරපතළ ලිංගික අපයෝජන සිදුව නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරි පැවසූ බව ත් සභාපතිවරයා කීය.

බරපතළ ලිංගික අපයෝජනයක් සිදුවී නැතත්, පැමිණිල්ල බැහැර කළ නොහැකි යැයි ද දැනට කෙරෙන විමර්ශනයේදී අවශ්‍ය අවස්ථාවක තම අධිකාරිය ඉදිරිපත් වන බව ද ඒ මහතා කියා සිටියේ ය.

*ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.