සේල් එකේ මුරකරු මරා වැගන් ආර් තුනක පැති කණ්ණාඩි ගලවගෙන

0
10

මීගමුව, කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අලෙවි කිරීමේ ආයතනයකට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනකු එම ආයතනයේ මුරකරුගේ අත්පා සහ මුව ගැටගසා ඔහු ඝාතනය කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි.

ඉන් අනතුරුව වාහන අංගණයේ ගාල් කර තිබූ වැගන් ආර් රථ තුනක පැති කණ්ණාඩි මෙම කොල්ලකරුවන් ගලවාගෙන ගොස් තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාරවිල හාල්පන්විල පදිංචි 66 හැවිරිදි රන්කොත්පේ¾ඩිගේ සුනිමල් විමලදාස නමැත්තෙකි.

ඉකුත් 11 වැනිදා අලුයම හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් දමා ගත් පුද්ගලයන් දෙදෙනකු වාහන අලෙවි ආයතනයේ කොට තාප්පයකින් පැන ඊට ඇතුළුවී තිබේ. ඒ වනවිට ආයතනයේ මුරකරු සිට ඇත්තේ තද නින්දේ බව කියන පොලිසිය වාහන අංගණයට ඇතුළු වූ මොවුන් නින්දේ පසුවූ මුරකරුගේ අත්පා මෙන්ම මුවද ගැටගසා තිබේ.

ඉන් අනතුරුව ඔවුන් ආයතනයේ නතර කර තිබූ වැගන් ආර් රථවල පැති කණ්ණාඩි ගලවා ඇති අතර පසුව ඔවුන් මුරකරු ළඟට පැමිණ ඔහු අවදිකොට පලා යන්නට උත්සාහ කර ඇතත් මුරකරු අවදි වී නැතැයි පොලිසිය කියයි.

ඉන් බියට පත් මොවුන් මුරකරු සිහිමූර්ඡා වී ඇතැයි සිතා වතුර මුහුණට ඉස ඇතත් මුරකරු අවදි වී නැතැයිද වාර්තා වේ. පොලිසිය පවසන්නේ ඒ වනවිටත් මුරකරු මියගොස් ඇති බවයි. සැකකරුවන් විසින් මුරකරුගේ මුව වසා දැමීමට ගත් උත්සාහයේදී ඔහුගේ ගෙල සිර වන්නට ඇතැයි පොලිසියේ සැකයයි.

ඊට පසුදින වාහන ආයතනයේ හිමිකරු පැමිණ මුරකරු පෙනෙන්නට නොමැති වීමෙන් ඒ ගැන විපරම් කරද්දී අතපය සහ මුව ගැටගැසූ මුරකරුගේ මළසිරුර දැක ඒ බව කොච්චිකඩේ පොලිසියට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. වාහන අංගණයේ නතර කර තිබූ වැගන් ආර් රථවලින් සොරාගත් පැති කණ්ණාඩිවල වටිනාකම රුපියල් 3,80,000ක් බව පොලිසිය කියයි.

සැකකරුවන් වාහන අංගණයට ඇතුළු වන ආකාරය ආයතනයේ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති බව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා කියයි. මින් එක් පුද්ගලයකු නොණ්ඩි ගසමින් ඇවිදින බව රූ සටහන්වල පෙනෙන්නට තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. සිහින් සිරුරුවලින් හෙබි මොවුන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවට සැකකරන පොලිසිය ඔවුන් දෙදෙනා කොටුකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්‍ෂණය මත කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදුකෙරේ.

කීර්ති මෙන්ඩිස්, මීගමුව – නිමන්ති ප්‍රනාන්දු