ස්වීට් කපල්වල සයිකො ප්‍රශ්න විසඳන ඇමරිකානු විවාහ ක්‍රමය

0
134

සමාජීය දෘෂ්ටිකෝණය කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට “භූගෝලීය ප්‍රදේශය අනුව“ එකිනෙකාගේ හැඟීම්වල වපසරිය අනුව වෙනස් වෙන දෙයක්. හරියටම කිව්වොත් විවිධාකාර ෆ්ලේවර්ස්වලින් හදන තේවලට සමාන කරන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි, ජින්ජර්, ලෙමන්, ඔරේන්ජ් වගේ එක එක රසට තේ වර්ග අපිට රස විඳින්න පුළුවන් හැබැයි, මේ හැමදේටම කියන පොදු නම තමයි තේ. අපි මොන රසින් සමාජය දිහා බැලුවත් ඒ සියල්ල සමාජය කියන ලොකු පදාසයේ කුඩා අංශු කිහිපයක් විතරයි. මේ සියලු රසින් ගම්‍ය වෙන්නෙ එකම දෙයක්.

ලෝකය එක යායක් කිව්වට ඒ යායෙ වෙනස් යායවල් බොහෝමයි. අපි අවුරුදු දෙදහස් ගාණක ඉතිහාසයක් කරපින්නාගෙන වංශෙ කබල් ගෑවට මේ වෙද්දී ශිෂ්ටාචාරවල පිළිකන්න ‍ෙදාරින් ඔළුව දාපු ගොඩක් රටවල් සංවර්ධනය සහ තාක්ෂණය අතින් අපිව පහු කරගෙන දුර ගමනක් ගිහින් භෞතික සහ මානසික යන අංග දෙකෙන්ම. නිකමට හිතන්න, ඔබ විවාහ වෙන වයසෙ තරුණයෙක් හෝ තරුණියක් අර විවිධ  රස තියෙන සමාජයෙන් කොච්චර නම් කතන්දර අහනවද? ආපහු හිතන්න, ඔබ විවාහ වුණු තරුණියක් හෝ තරුණයෙක්. මේ වෙද්දී අර රස කතා ඉවරද? අපොයි නෑ. හිත රිදෙන කතන්දර බෝමයි.

අලුත් ජෙනරේෂන් එකේ බහුතරයකගේ ඛේදවාචකය පටන් ගන්නෙ ජොබ් ලොස් වීමෙන්ම නෙමෙයි. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හමුවෙලා එතැන් සිට එන කාල පරිච්ඡේදයම සමහර අයට අහෝ දුකකි ඉරකි තිතකි තමයි. ඇයි දන්නවද?  ෆුල් ට්‍රයි දාලා හොයා ගත්තට පස්සෙ ගෙදරින් හම්බෙන ඉඟි එකිනෙකාට වෙනස්.  සමහර අය නම් උඩින්ම කැමැතියි. තවත් පවුල්වල මගෙ මිනිය උඩින් තමා මඟුල කරන්න වෙන ජාතියෙ ජන්මාන්තර වෛරක්කාර සිද්ධීන්. ඔන්න ඔහොම ප්‍රශ්න ඔක්කොම විසඳගෙන ගිහින් අවසානයේ රටටයි ලෝකෙටයි ඔක්කොටම පේන්න සින්ඩරෙල්ලයි සින්ඩරෙල්ලාගේ මනුස්සයයි වගේ ෆෙරි ටේල් වෙඩින් එකක් ගන්නවා.

විවාහයට කලින් තහනම් වුණ දේවල් දැන් ඔක්කොම පුළුවන්. එතකන් සමහර දේවල් සංස්කෘතියට විරුද්ධයිලු. ඔන්න බැන්දා. දැන් ලස්සන පවුලක්. එතැනින් එහාට ප්‍රශ්න ඉවරද? නෑ මිත්‍රවරුනේ, දැන් තමා රසම හරිය. ලංකාවේ ස්වීට් කපල් ගොඩක සයිකො ප්‍රොබ්ලම් තියෙනවා. සියල්ල නෙමේ යම් ප්‍රමාණයක් අතර. සමහරු හස්බන්ඩ්ගේ බස් ටිකට් එකේ ඉඳන් ඇදලා බලනවා. අනිත් පාර්ශ්වයත් එසේමයි. යාළුවො මීට් වෙන්න යන්නෙ දහ වැ¾දුම් වැඳලා අවසර අරන්. එතන ඉඳන් ලොකේෂන් දදා පෙන්නන්න ඕනෙ. මෙහෙම කොට්ඨාසයකුත් ඉන්නවා. ආදරය නාමෙන් බලාපොරොත්තු වෙන්නෙ ආත්මාර්ථකාමී අයිතිවාසිකම්.

හැබැයි මේ තින්කින් එක මම දකින්නෙ ලංකාවෙ එක්තරා පරාසයක විතරයි. බඳින්න කලින් මවුපියන්ගේ හැසිරීමත් ශර්ලොක් හෝම්ස් වගේ. ඔවුන් තමන්ගෙ දරුවන්ගෙන්  බලාපොරොත්තු වෙන්නෙ පියෝ ලව් එකක්. 18ට වැඩි වුණත්  ලිංගිකත්වය කියන්නේ ඊයා. සංස්කෘතියට පටහැනියි. ඉස්කෝලේ කාලේ ළමයින්ගේ ඔළුවට දාන්නෙ කොල්ලො කෙල්ලො කපල් කියන කට්ටිය හප්පො ගානට දාලා. හම්මෝ එයාලා නරකයි කියලා. ඉතින් නව යොවුන් ළමයින්ට කපල් එකක සම්බන්ධය මැජික් එකක් වෙනවා. 

ඔවුන් රහසිගතව ඒක රසවිඳින්න හදනවා විවිධ ක්‍රමවලින්. උපරිම නිදහස දීලා තේරුම් ගැනීම අතින් ඉහළ කොටසක් හිටියත් පෞරාණික සංස්කෘතියක් තියෙන ලංකාව වගේ ආසියාතික රටක මේ දේවලුත් සාමාන්‍යයි. එක්තරා උගත්, ලස්සන කාන්තාවක් මගේ මිතුරියක්ට කියලා තිබුණා එයාගේ හස්බන්ඩ් එක්ක ගෙදර සාලයේ අතින් අල්ලන් උරහිසට ඔළුව තියන් ඉද්දී නැන්දම්මා ඇවිත් ලැජ්ජා නැතිකමට හැදෙන්න එපා කියලා උපදෙස් දීලා තිබ්බා කියලා. අපි නොහිතුවාට මේ  වගේ මානසිකව අසංවර්ධිත කණ්ඩායමක් ඉන්න රටක අපි තාම ජීවත් වෙන්නෙ.

අපි පොඩ්ඩක් යමුද ඇමරිකාව පැත්තට?

බහුතරයක් ඇමරිකානු දරුවන් නව යොවුන් වියේදී තමන්ගේ තටු ගහලා පියාඹන්න එළියට බහිනවා. ඔවුන් අපේ රටට සාපේක්ෂව අසීමිත නිදහසක් භුක්ති විඳිනවා.

විවාහයට  වඩා ඔවුන් මුල්තැන දෙන්නෙ ලිංගිකත්වයට. එය විටෙක ලොකු ගැටලුවක්. තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ලිංගික තෘප්තිමත්භාවය පිළිබඳව සතුට පිළිබඳව ඔවුන් බොහෝ උනන්දු වෙනවා. ඔවුන් විවාහය පිළිබඳව අවධානයක් නෑ කියලා කියන්නත් බෑ. ඇමරිකාවේ ජීවන රටාව ගැන අවධානය දක්වනවා නම් ඔවුන්ගේ ලයිෆ් ස්ටයිල් එක ගැන  පර්යේෂණ පත්‍රිකා කියවලා තියෙනවා නම් දැන ගන්න පුළුවන් වැදගත්ම කාරණා කිහිපයක් තියෙනවා. ඔවුන් විවාහයක් එපා කියලා කියන්නෙ බොහෝම සුළුතරයක්. ඔවුන් ඒ ගැන උනන්දුයි. තරුණ ප්‍රතිශතයෙන් අර්ධයක්ම කියන්නෙ සමහරවිට පසු කාලෙක තමන් විවාහ වෙන්න පුළුවන්, එයට කැමැතියි  කියලා. අපේ රටේ විවාහයේ මූලික පදනමක් විධියට දරුවන් කියන දෙය උඩින්ම තියෙනවා.

නමුත් බහුතර ඇමරිකානුවන්ගේ අදහස ඔවුන් විවාහ වෙන්නෙ තමන්ගේ ලිංගික ජීවිතය ස්ථාවරව පවත්වා ගැනීමට, ඒ වගේම ජීවිතයේ අග භාගයේ පාළුව, තනිකම මකා ගැනීමට සෙවණැල්ලක් වගේ ඉන්න සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට ඔවුන් කැමැතියි. ඔවුන් දරුවන්ට කැමැතියි. දරුවන් ලැබුණොත් සතුටින් භාර ගන්නවා. නොලැබුණොත් දුක්වෙනවා. ප්‍රතිකාර කරනවා.  නමුත් එය ඔවුන්ගේ ජීවන රටාවට, සතුටට එය බාධාවක් නෙමෙයි.

මිදි වැලක් ගත්තාම එහි සියලුම රසය එකතු වෙන්නෙ මිදි ගෙඩියට. අපි කරන කියන සියලු දේවල්වල සතුට එකතු වෙන්නෙ තමන්ගේ ආධ්‍යාත්මයට. ලංකාවෙ බොහෝ පවුල්වල තියෙන්නෙ විඳවීම් සහ අයිති කර ගැනීම්. දැන් කියන්න එපා සුද්‍ෙදා හොඳයි කිව්වා කියලා. ලංකාවෙ අපි සංස්කෘතිය හා සදාචාරය නාමෙන්  විඳවන්න සෑහෙන්න දක්ෂයි. වෙඩින් එකක් ගන්නෙ, ජීවත් වෙන්නෙ ලෝකෙට පේන්න සතුටේ වෙස් මූණු  දාගෙන.

දරුවෙක් ලැබුණාම තමන්ගේ සහකාරයාට වඩා දරුවා මූලික කර ගන්නවා. දරුවා මූලික කර ගන්න ඕනෙ තමයි. ඒත් හත් දෙයියනේ සහකාරයා හෝ සහකාරිය නැත්තම් දරුවා දෙයියො දීලා තියෙන්නෙ. වයිෆ් / හස්බන්ඩ් තමන්ගේ සතුට වෙන කෙනෙක් මාර්ගෙන් හොයන්නෙ රහසින්. ඔවුන්ගේ සතුට ගැන තමන්ගේ පාට්නර් එක්ක කතා කරන්න තරම් ඔවුන්ට හයියක් නෑ. තමන් තමන්ගේ සතුට අනෙකා සමඟ බෙදා ගත්තා නම් විඳවන්නෝ දුලබ වේවි. ඉතින් “ගෙදරින් හිතන්න පටන් ගන්න ජීවිතයක් ආරම්භ කරන්න” ජය!

තාරිකා ද සිල්වා