වැරදි බස් එකට කිහිප වරක් නැඟලා බැහැපු ජ.වි.පෙ. අපි එක්වරක් නැඟලා බැස්ස එක ගැන කතා කරනවා

0
27

“අපට එක පාරක් බසය වැරදීම ගැන ඩෝං ගිහින් තියෙන ජ.වි.පෙ.ට හැත්තෑ එකේ හා අසූ නවයේදී විප්ලවය නමැති බස් එකට තරුණ පරපුර සමඟ නැඟී 81,000ක් තරුණ ජීවිත විනාශ කළ බවත් 2015දී යහපාලන බස් එකට හොරෙන් නැඟි බවත් අමතක වී ඇතැයි”  පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

බස් එකට නැඟ බැසීම විනෝදාංශය කරගත් ජ.වි.පෙ. අපි එක්වරක් බැසීම කතා කරනවා. අපි බස් එකෙන් බැසීම පිළිබඳව ජ.වි.පෙ. පසුගිය සතිය පුරාම විවිධ අදහස් දක්වනවා දුටුවා යැයිද මන්ත්‍රිවරයා කියා සිටියේය.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද පැවැසීය.

“1971 සහ 1987 දී අපේ රටේ තරුණ පරම්පරා දෙකක් විප්ලවය කියන බස් එකට නංවාගෙන දැවැන්ත අනතුරු කරගෙන 1971දී 16,000ක්, 1987දී 65,000ක් තරුණ ජීවිත විනාශ කළේ ජවිපෙට බස් වැරදුණු නිසා. ඊට පස්සේ 1994දී චන්ද්‍රිකාගේ ඩ්‍රයිවිං හොඳයි කියලා තමන්ගේ රියැදුරු අයින් කරගෙන චන්ද්‍රිකාගේ බස් එකට නැංගා.  ඒකෙන් බැහැලා 2005දී මහින්දගේ බස් එකට නැංගා.  2010දී ෆොන්සේකාගේ බස් එකට නැංගා.  ඒ විතරක් නොවේ 2015 දී යහපාලන බස් එකේ ටිකට් නැතිව හොරෙන් ගියේත් ජවිපෙ තමයි.  එහෙව් ජවිපෙට තමයි අපිට එක පාරක් බස් එක වැරදුණාම ඩෝං ගිහින් තිබෙන්නේ.

ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමැතිවරුන් 37ක් පසුගියදා පත් කළා.  කෙනෙක් කියන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවට ලබා දුන් අයිතියක් කියලා.  37ක් නොවේ 40ක් දක්වා රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට ජනාධිපතිට පුළුවන් කියා සමහරෙක් තර්ක කරන්න පුළුවන්. ව්‍යවස්ථාවෙන් රාජ්‍ය‍ ඇමැතිවරු 40ක් පත් කරන්න අවස්ථාව දී ඇති බව ඇත්තක්.  නමුත් මේ අර්බුදකාරී තත්ත්වය තුළ  රාජ්‍ය ඇමැතිවරුන් 37ක් පත් කිරීම අවශ්‍යද?

වර්තමානයේ බඩු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ජනතාව ජීවන වියදමෙන් මිරිකිලා ඉන්නේ. ඉදිරිය බොහොම අමාරුයි කියන ගමන් ඇමැතිවරුන්ට සැප විඳින්න, මන්ත්‍රිවරුන්ට සැප විඳින්න වරප්‍රසාද ලබන්න අවස්ථාව ලබාදීම කෙතරම් යුක්ති සහගතද.   ඉහළ යන බඩු මිලට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනෙක් පෙන්වන්නේ විදේශ විනිමය හිඟය නිසා ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩිවීමයි.  නමුත් ඒ හා සමාන තවත් හේතු තිබෙනවා.

  ඒ තමයි ආණ්ඩුවේ දැවැන්ත වියදම හේතුවෙන් ඇති වී තිබෙන අය-වැය හිඟය.  අය-වැය හිඟය පියවන්න මුදල් අච්චු ගැසීම වත්මන් උද්ධමනයට ප්‍රධාන හේතුවක්. ඒ නිසාම සහනාධාර කප්පාදුව සහ රාජ්‍ය සේවකයන් ගණන අඩු කිරීම වැනි උපක්‍රම හරහා රාජ්‍ය  වියදම පහත දමන්නැයි ණය දෙන ආයතන ආණ්ඩුවට උපදෙස් දීලා තිබෙන්නේ.

ඒ අතරේ  ඇමැතිවරු පත් කරනවා කියන්නේ ආණ්ඩුවේ වියදම තවත් වැඩි කරනවා කියන එකයි.  ආණ්ඩුවේ වියදම අඩු කරනවා වෙනුවට තවත් වැඩි කිරීම ලංකාවට උදවු කරන්න බලාගෙන සිටින අන් රටවල් කොහොම දකීද?  අර්බුදය විසඳා ගන්න වුවමනාවක් නැතිනම් අපි නිරපරාදේ මහන්සි වෙන්නේ මොකටද කියලා ඒ රටවල් සහ ආයතන සිතාවි.

වියදමක් ඇතත් නැතත් ඇමැති මණ්ඩලය අඩු කිරීම සංකේතාත්මකව වැදගත්. ජනතාව දුක් විඳින අතරේ මන්ත්‍රිවරුන් සැප විඳිනවාය කියන හැඟීමක් ජනතාව තුළ ඇතිවුණොත් අර්බුදයේදී ජනතාව විඳින දුක දේශපාලකයාට තේරෙන්නේ නෑ කියන හැඟීමක් ඇති වුණොත් ජනතාව කැප කිරීම් කරන්න සූදානම් වෙනවා වෙනුවට ජනතාව දේශපාලකයා කෙරෙහි වෛරීව බලන්න පටන් ගන්නවා. ඒක මේ අර්බුදය විසඳා ගැනීමට සාමූහිකව ක්‍රියා කිරීමට බාධාවක්. මේ නිසා ජනතාව කැපකිරීම් කළ යුතු නම් මුලින්ම කැප කිරීම දේශපාලනඥයන් කරලා ආදර්ශය සැපයිය යුතුයි.

  1972 ඉන්දියාවේ දරුණු සාගතයක් ඇති වෙලා දිළි¾දු ජනතාවට කන්න නැති වුණා.  එවකට ඉන්දියාවේ අගමැතිනිය වුණු ඉන්දිරා ගාන්ධි මැතිනිය සාගතය අවසන් වන තුරු රාත්‍රි ආහාර නොගෙන උපවාස කරන්න තීරණය කළා.  වරක් ජාත්‍යන්තර සමුළුවකදී සිරිමාවෝ මැතිනිය ඉන්දිරා මැතිනියගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහැව්වා.  ඔබ උපවාස කිරීමෙන් කෝටි සංඛ්‍යාත ජනතාවගේ බඩ පිරෙන්නේ කොහොමද?

ඇයගේ පිළිතුර වුණේ. මම බඩගින්නේ හිටිය කියල බඩගින්නෙ ඉන්න හැමෝගෙම බඩ පිරෙන්නේ නැති බව ඇත්තයි.  ඒ අය වගේම මමත් බඩගින්නේ ඉන්නේ කියලා ජනතාව දැනගන්නා විට මම ඒ අයගේ කෙනකු කියලා ඒ අයට දැනෙනවා.  ඒ අයට දැනෙන බඩගින්නම මටත් දැනෙන නිසා මම මේ සාගතය විසඳන්න කටයුතු කරාවි කියලා ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා. මේ අර්බුදය විසඳන්න නම් ජනතාවගේ විශ්වාසය වැදගත්.  එදා ඉන්දිරා ගාන්ධි මැතිනිය ලබා දුන් ආදර්ශය අපේ රටේ නායකයන් ලබා දිය යුතු කාලය ඇවිල්ලා.

මෙතරම් අර්බුදය මැද අමාත්‍ය මණ්ඩලය 37කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළහම නන්දා මාලනි මැතිනිය 1980 දශකයේ ගැයූ ගීතයක් වර්තමානයේ ගයන්නට අවස්ථාව ලැබුණා නම්  ඇය මෙසේ ගයාවි.

“රට කරවන්ට නම් ඇමැතිල ඇතිව වටේ වටිනා කියන දේ විකිණිය යුතුව තිබේ

මහජනයා කෑ ගැහුවත් හතර වටේ ඒවා නොවික්කොත් ඇමැතිලා මකර කටේ

හෝර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට

පවරා සිංහරාජය ලී මෝලකට

පිටරට ණයක් අරගෙන මදි පාඩුවට

ඇමැතිල අපේ රැක ගන්නට සිදුව ඇත”

විනීතා එම්. ගමගේ