ව්‍යාපාරිකයාගේ බිරියගේ රන් බඩු ඉස්සූ හෝටල් සේවකයා අතුරුදන්

0
10

ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ බිරියට අයත් රන් වළලු 16ක්, මංගල මුදුවක් හා රුපියල් 11,000ක් සහ ව්‍යාපාරිකයාට තෑගි වශයෙන් ලැබී තිබූ අත්ඔරලෝසුවක් හෝටල් සේවකයකු විසින් සොරකම් කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙකී ව්‍යාපාරිකයාට අයත් දඩැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සඳහා අදාළ සේවකයා ඉකුත් 06 වැනි දින බඳවාගෙන තිබිණි. හෝටලයට සේවකයන් බඳවා ගන්නා බවට ව්‍යාපාරිකයා  විසින් පළ කර තිබූ පුවත්පත් දැන්වීමට අනුව සැකකාර හෝටල් සේවකයා ව්‍යාපාරිකයාට දුරකථනයෙන් කිහිප වතාවක් කතා කරමින් තමන්ට සුදුසුකම් ඇති බව දන්වා ඇත.

ඒ අනුව ඉකුත් 06 වැනි දින මොහු හෝටලයේ සේවය සඳහා බඳවාගෙන අවශ්‍ය පහසුකම් පවා ලබාදී ඇත. ව්‍යාපාරිකයා හා බිරිය ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ දානමය පින්කමක් සඳහා ගොස් ඊට සහභාගි වී නැවත හෝටලයට පැමිණ බලන විට හෝටල් සේවකයා සහ ඔහුගේ ඇඳුම් බෑගයද තිබී නැත. අනතුරුව මොවුන් නතරවී සිටි හෝටල් කාමරය පරීක්‍ෂා කිරීමේදී මෙකී රන් භාණ්ඩ හා මුදල් අතුරුදන්ව තිබී ඇත.

හෝටල් සේවකයා විසින් හෝටල් කාමරයේ අමතර යතුරු සොයාගෙන කාමරය තුළට ඇතුළුවී මෙම සොරකම කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු මිරිස්වත්ත, කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගාල්ල – කමල් විජේහේවා