වයස 15 දරුවා පෙම්වතිය බලන්න යන්න බස් එකක් උස්සලා

0
39

පිළියන්දල බස් නැවතුම්පොළෙහි ගාල්කර තිබූ පෞද්ගලික බස් රථයක් සොරාගෙන සිය පෙම්වතිය බැලීමට යමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර දරුවකු  12දා අලුයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත්  සැකකරු  ඉකුත් ජුනි මාසයේදී  ගලවිලවත්ත ඉන්ධනහල ඉදිරිපිට තෙල් පෝලිමේ නවතා තිබූ බස් රථයක් සොරා ගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවද පොලිසිය කියයි.

සැකකරු මොරගහහේන ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීම සඳහා  බස් රථයකින් යෑමට  ඉකුත් 11දා රාත්‍රි අටට පමණ පිළියන්දල බස් නැවතුම්පළට පැමිණ තිබේ. එම අවස්ථාවේදී මොරගහහේන දක්වා යෑමට බස් රථයක් නොතිබුණද පර්යන්තයෙහි බස් රථ කිහිපයක් නවතා එහි රියැදුරන්  ශ්‍රී  ලංකාව හා පාකිස්තානය අතර පැවැති  ආසියානු කුසලාන අවසන් මහා තරගය නරඹමින් සිට තිබේ.

එම තරගයේ එක් ඉනිමක් ක්‍රීඩා කොට ලැබෙන විරාමයේදී රියැදුරන් සිවුදෙනකු ආහාර ගැනීම සඳහා යාබදව ඇති ආපනශාලාවට ගිය අවස්ථාවේදී සැකකරු එහි නවතා තිබූ බස් රථවලට ගොඩ වී තිබේ.

එම අවස්ථාවේදී යතුර සමඟ නවතා තිබූ පිළියන්දල – කළුබෝවිල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක්  මෙසේ පණගන්වා ධාවනය කර ඇති අතර පසුව රියැදුරන් පැමිණ බැලීමේදී නවතා තිබූ එක් බස් රථයක් අස්ථානගත වීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරී කණ්ඩායමක්  ක්ෂණික මාර්ග බාධක යොදවා ධාවනය වන වාහන පරීක්ෂා කිරීමේදී අස්ථානගත වූ බස් රථය බවට සැකකරන බස්රථයක්  කැස්බෑව – ජාලියගොඩ මාර්ගය හරහා ධාවනය වෙමින් තිබියදී නවතා පරීක්ෂා කිරීමේදී එය අස්ථානගත වූ බස් රථය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව  බස් රථය පොලිස් භාරයට ගෙන  බස් රථය ධාවනය කළ බාලවයස්කාර රියැදුරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිසියෙන් මිදී  පලා යෑමට තැත් කර ඇති අතර පසුව ඔහු  අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධියෙන් පැය හතරක් යන්නටත් පෙර සැකකරු සහ බස් රථය පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පැවැසේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මත්තේගොඩ කිතුලහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි  බාලවයස්කාර දරුවා මීට මාස තුනකට පෙර හෝමාගම ප්‍රදේශයෙන් බස්රථයක් සොරා ගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවත් පෙම්වතියගේ නිවෙසට යෑමට බස් රථයක් නොතිබූ හෙයින් මෙම බස් රථය සොරාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත්  බාලවයස්කාර සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.

පන්නිපිටිය _ හෂාන් පුෂ්පික