ලාංකේය චූල දේශපාලනයේ මහා සලකුණක්

0
31

‘වම හා ජීවිතය’ අද කොළඹදී එළි දකී දශක පහකට ආසන්න කාලයක් මේ රටේ සමාජවාදී දේශපාලනයක් වෙනුවෙන් අනවරත අරගලයක නිරත වූ සිරිතුංග ජයසූරිය මහතාගේ එම දේශපාලන ජීවිත ඉතිහාසය අලළා ඒ මහතා විසින් රචිත “වම සහ ජීවිතය” ග්‍රන්ථය ජනගත කිරීම  අද (13දා) පස්වරු 3.30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

සිරිතුංග ජයසූරිය මහතා රචිත හත්වන ග්‍රන්ථය මෙය වන අතර මෙම ග්‍රන්ථය පිළිබඳ සංවාදයේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්, විදර්ශන කන්නන්ගර හා බූපති නලින්  දේශන පවත්වති.

සිරිතුංග ජයසූරිය සහ ඔහුගේ ජීවන වටාපිටාව පිළිබඳ මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත අයගෙන්  වුවද දන්නේ සියයට දහයකට අඩු පිරිසක් නිසා පොදු මහජනතාව ඔහු  නොහඳුනන බව කීම වරදක් නොවේ.

කොළඹ තිඹිරිගස්යායේ  උපත ලද සිරිතුංග සිය පියාගේ දේශපාලන අඩි පාරේ යමින් ලංකා  සමසමාජ පක්ෂයෙන් තමන්ගේ දේශපාලන චාරිකාව ආරම්භ කළේය. ඔහු ලංකා සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ 1965දීය. එතැන් පටන් ලංකා සමසමාජ පක්ෂය විසින් මෙරටට හඳුන්වා දුන් සමාජවාදය සහ  ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය කෙරෙහි අචල විශ්වාසයකින් යුතුව  කටයුතු කරන සිරිතුංග, සමාජවාදී ලෝකයක් කෙරෙහි බරපතළ බලාපොරොත්තු සහිතව, ශ්‍රී  ලංකාව සමාජවාදී කම්කරු රාජ්‍ය බවට පත් කිරීම සඳහා වන දේශපාලන අරගලයේ  පසු නොබැස ඉදිරියට යමින් සිටී.

කොළඹ ජාවත්ත සී.සී. මිශ්‍ර විද්‍යාලයේ, ගෝනාපීනුවල සාරාලංකාර විද්‍යාලයේ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිරිතුංග ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනය අතරමඟ නතර කර රත්මලාන කාර්මික ආයතනයට කම්කරුවෙක් ලෙස සේවයට එක් වන්නේය. එහිදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු බවට  පත්වන සිරිතුංග එතැන් පටන් අද දක්වා වෘත්තීය සමිති  නායකයකු ලෙසද තමන්ගේ ජීවිතය කම්කරු පන්ති සගයන්ගේ  අභිවෘද්ධිය සඳහා කැප කර ඇත.

සිරිතුංග  අනුගමනය කළේ මේ රටේ බහුතර  ජනතාව  ප්‍රසාදයට පත්වන දේශපාලන ප්‍රතිපත්ති නොවේ. සිරිතුංග ජාතිවාදය තදින්ම හෙළා දුටු අතර දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අයෙකි.

සිරිතුංග සමසමාජ පක්ෂයෙන් ඉවත් වන්නේ සමසමාජ නායකයන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ සභාග ආණ්ඩුවට යෑම පිළිබඳ ඇති වූ දේශපාලන ගැටුමක් තුළින්ය. මේ බෙදීම තුළින්  සිරිතුංග, වික්‍රමබාහු, සුමනසිරි, වාසුදේව වැනි අය ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් වී “වාම කණ්ඩායම” පිහිටුවා ගත්හ.

පසුව නව සමසමාජ පක්ෂය දක්වා සංවර්ධනය වන එම වාම කණ්ඩායම ඔස්සේ ඉදිරියට ගිය සිරිතුංග පසුව නව සමසමාජ පක්ෂය තුළ ඇති වූ නව ප්‍රවණතාවන් ඔස්සේ අභ්‍යන්තරික වශයෙන් ඇති වූ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය බිඳීයෑමට විරෝධය පළ කරමින්  නව සමසමාජ පක්ෂයෙන්ද ඉවත් විය.

ඉන්පසු “මාක්ස්වාදී කම්කරු ප්‍රවණතාවය” ලෙස කටයුතු කළ එම කණ්ඩායම 1998දී  එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවීය. මෙම පක්ෂ ප්‍රපක්ෂ ප්‍රධාන ලේකම් ලෙස අදත් සිරිතුංග ජයසූරිය සහෝදරයා මේ රටේ වමේ පරමාදර්ශී ට්‍රොස්කිවාදී දේශපාලනයක් වෙනුවෙන් කැප වී සිටී.

මෙම ග්‍රන්ථය තුළින් සිරිතුංග ඉතාමත්ම ගැඹුරුම ගැඹුරු දේශපාලන කතිකාවක් මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සහ දේශපාලන ජීවිතයේ මුහුණ දුන් සුවිශේෂී අවස්ථා රැසක් හෙළිදරව් කරයි.