රෝගී දැරියක අපයෝජනය කළැයි කරාපිටියේ ‍ෙදාස්තරට ලක්ෂ 3ක ඇප

0
34

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන වෛද්‍යවරයා ගාල්ල පොලිසිය විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාර වීමෙන් අනතුරුව බව වාර්තා වේ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව දැරියගේ මව විසින් ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.හබරාදුව පොලිස් වසමේ අඟුලුගග කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මොහු දෙදරු පියකු බව පොලිසිය කියයි.

සැකකරු ඊයේ (12දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත නිදහස් කෙරුණු අතර ඊළඟ නඩු වාරය දෙසැම්බර් මස 14 වැනිදා කැඳවීමට නියමිතය.

උදරයේ පැවැති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා 15 හැවිරිදි දැරිය සිය මවද සමඟ ගාල්ල කරාපිටිය රෝහලට ගොස් තිබිණි. පසුව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ගත් දැරිය ඉකුත් 8 වැනිදා ස්කෑන් පරීක්ෂණයක් සඳහා විකිරණ අංශයට ඇතුළත් කර තිබේ.

ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමේදී මෙම වෛද්‍යවරයා දැරියට කිසියම් බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇති බව දැරිය නේවාසිකව සිටින වාට්ටුවට රැගෙන ගිය පසු ඇය සිය මවට පවසා ඇත. පසුව මේ බව දැරියගේ මව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාටද දන්වා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිලි කර තිබේ.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී ඔහු රෝහලෙන් අතුරුදන් වී ඇත.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කෙරිණි.

මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය අමරසිංහ ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව තම අධිකාරියට පැමිණිල්ලක් ලැබී නැතත් මාධ්‍යවලින් දැනගත් පසු විමසා බැලූ බවය.

මේ වනවිට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය එහි විමර්ශන කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වින්දිත දැරිය ඉදිරිපත් කොට ඇති අතර බරපතළ ලිංගික අපයෝජන සිදුව නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරි පැවැසූ බවත් සභාපතිවරයා කීය.

බරපතළ ලිංගික අපයෝජනයක් සිදුවී නැතත්, පැමිණිල්ල බැහැර කළ නොහැකි යැයිද දැනට කෙරෙන විමර්ශනයේදී අවශ්‍ය අවස්ථාවක තම අධිකාරිය ඉදිරිපත් වන බවද ඒ මහතා කියා සිටියේය. 

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.

කීර්ති මෙන්ඩිස්