මෙම ජයග්‍රහණය ලෝක කුසලානයට අමතර ශක්තියක් එක් කරාවි

0
25

ආසියානු කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ඉදිරි ලෝක කුසලානය ජය ගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ මීළඟ ඉලක්කය බවට පත්ව ඇති බව ශ්‍රී  ලංකා විස්සයි 20 නායක දසුන් ශානක පැවැසීය. දසුන් මේ බව කියා සිටියේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 23ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ ශ්‍රී  ලංකා නායකයා “පළමු තරගයේ පරාජයෙන් අනතුරුව අපි තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අපි දැන සිටියා අපි දස්කම් අතර සිටියත් ඒවා යොදා ගැනීමේදී යම් අඩුපාඩු සිදුවූ බව. කෙසේ වෙතත් අවසානයේදී සියලු ක්‍රීඩකයන් නැඟී සිටියා වගේම මෙම ජයග්‍රහණයට සියලුදෙනා තම දායකත්වය දැක්වූවා. එසේම පසුගිය වසර කිහිපයක කාලයේදී අපගේ ක්‍රීඩකයන් කෙතරම් හොඳින් ක්‍රීඩා කළත් ජයග්‍රහණ ලඟා කර ගත නොහැකි වූණා.

එසේම මෙම තරගාවලි ජය ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව විශ්වාස කරන අතරම ඉදිරි වසර 5ක හෝ 6ක කාලයක් මෙම තත්ත්වය පවතීවි. එසේම මෙම ජයග්‍රහණය මාගේ රටේ සියලුදෙනා සමඟින් බෙදාගන්නට මා කැමතියි. එසේම ඔවුන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් දිගු කළක් බලා සිටියා. කෙසේ වෙතත් ලෝක කුසලානයේදීත් හොඳින් ක්‍රීඩා කර එය ජයගැනීම අපගේ අරමුණ වී තිබෙනවා.” ලෙසින් පැවැසීය.

එසේම කණ්ඩායම සම්බන්ධයෙන් සහ එල්ල වන චෝදනාවන් පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ දසුන් කියා සිටියේ මෙවැන්නකි. “ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරද්දී සෑම දෙනාම ප්‍රශංසා කරනවා. වැරදි කියද්දීත් ක්‍රීඩකයන් ලෙස අපි ඒවා පිළිගැනීමට බලාපොරොත්තු විය යුතුයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටින්නේ හැකි සෑම අවස්ථාවකම අපට සහාය දක්වන්න, මොකද අප කණ්ඩායමක් ලෙස දක්ෂතා පෙන්වා තිබෙනවා, පසුගිය වසරේ සිට ශ්‍රී  ලංකාවේ පැවැති එක්දින තරගාවලි සියල්ල අපි ජයගෙන තිබෙනවා. එය ඉතා යහපත් තත්ත්වයක්. දෝශාරෝපනය කරන්න අවශ්‍ය නම් දිනුවත් පැරදුනත් ඔවුන්ට දෝශාරෝපන එල්ල කළ හැකියි. කෙසේ වෙතත් අපි ක්‍රීඩකයන් ලෙස එක්ව තිබෙනවා. කණ්ඩායමක් ලෙස අපි ක්‍රීඩකයන්ට සහාය දෙනවා. එම විශ්වාසය අපි සතුව තිබෙනවා. ඒ අනුව කිසිම අවස්ථාවක එම විශ්වාසය කඩ කරන්නට පහසු වන්නේ නැහැ.”

තවද අවසන තරගය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී  ලංකා නායකයා “තරගයට පෙර මෙම තණතීරුවේ ලකුණු 170 ඉතා හොඳ ලකුණු ප්‍රමාණයක් වන බව අපි දැන සිටියා. අපගේ පන්දු යැවීමේ බළැණිය අනුව අවසන් මහා තරගයක එවන් ලකුණු ප්‍රමාණයක් හඹා යෑම කිසි ලෙසකින්වත් පහසු කරුණක් නොවෙයි. කෙසේ වෙතත් මෙහිදී භානුකගේ ඉනිම තරගයේ තීරණාත්මක සාධයක බවට පත් වුණා. එහදී භානුක සහ වනිඳු එක්ව ගොඩනැගූ සම්බන්ධතාව සහ ධනංජය ලබා ගත් ආරම්භයත් සමගින් එක් කළ ලකුණු පුවරුව ශ්‍රී  ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බවට පත්වූවා.” යනුවෙන් කියා සිටියේය.

එසේම එළැඹෙන ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සහ එහිදී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුව තිබීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු දැක්වූ ශ්‍රී  ලංකා නායකයා. “අපි පසුගිය වසරේදීත් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සදහා ක්‍රීඩා කරනු ලැබූවා. කෙසේ වෙතත් එවන් තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ මින් පෙර වසර වලදී අපි ක්‍රීඩා කර තිබූ ආකාරය අනුවයි.

කෙසේවෙතත් අපි පසුගිය දෙවසරක් තුළ ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඒ අනුව ආසියානු කුසලානය ජය ගැනීම ලෝක කුසලානය වෙනුවෙන් අමතර ශක්තියක් එක් කරනු ඇති බව විශ්වාසයි. එසේම සුදසුකම් ලබා ගැනීමෙ තරග වටයට ක්‍රීඩා කිරීම තුළින් ප්‍රධාන තරගාවලියට පෙර එහි තත්ත්වයන් අවබෝධ කර ගැනීම සඳහා අපට යම් වාසි සහගත තත්ත්වයක් එක් කරන්නක් බව මා සිතනවා.” යනුවෙන් සඳහන් කළේය.

එසේම ප්‍රමෝද් මධුෂාන් ඉදිරියේදී ශ්‍රී  ලංකාව වෙත තවත් ජයග්‍රහණ ළඟා කරනු ඇති බවද මෙහිදී දසුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. ක්‍රිකට් වලට අමතරව ශ්‍රී  ලංකාවේ අනෙකුත් ක්‍රීඩාවන්ට ද මාධ්‍යයේ ඇතුළු සියල්ලන්ගේ අවධානය යොමුව එවාද ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බවද දසුන් මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ භානුක රාජපක්ෂ “දශක කිහිපයකට පෙර අපි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් ආක්‍රමණශීලි ස්ථානයක පසුවුණා. මෙහිදී අපට අවශ්‍ය වූයේ එය නැවතත් ශ්‍රී  ලංකාව වෙත ලඟා කර ගැනීමයි. ඒ අනුව කණ්ඩායමක් ලෙස අපි මේ අවස්ථාවේදී එම ඉළක්කය සපුරාගෙන ඇති අතරම එය ඉදිරි ලෝක කුසලානය කරා රැගෙන යෑම අපගේ අරමුණ වී තිබෙනවා. එමෙන්ම ජාතියක් ලෙස මෙය අපට ඉතා වැදගත් ජයක්. ශ්‍රී  ලංකාව තුළ පවත්නා අර්බුද හමුවේ මේ අවස්ථාවේදී ශ්‍රී  ලංකාවේ ජනතාව ඉතාමත් අසීරු කාල සීමාවක් ගතකරනවා.

ඒ අනුව අපි බලාපොරොත්තු වූණාා අපගේ ජනතාවට සිනහවක් ගෙන ඒමට අපට හැකිවේ යැයි කියා. කෙසේ වෙතත් එය සපුරා ගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙවන් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමටත් අපි දිගු කළක් බලා සිටියා. එසේම ජයග්‍රහණයේදී සහ පරාජයේදී අපි සමග සිටිමින් අපට සහාය දැක්වූ ප්‍රෙක්ෂකයන් සියලුදෙනාට පී්‍රතිජනක දිනයක් ලෙස මා සිතනවා. ඒ අනුව ඉදිරියේදීත් මේ අයුරින්ම ක්‍රීඩා කිරීම අපගේ අපේක්ෂාව වී තිබෙනවා.” යනුවෙන් පැවැසූවේය. 

ඉදිරි බලාපොරාත්තු සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළ භානුක “මෙම කෙටි කාලය තුළ මා ක්‍රීඩා කළ සුවිශේෂීම ඉනිමක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එසේම ඉදිරියේදීත් ශ්‍රී  ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග ජයග්‍රහණය කරවිය හැකි ඉනිම් ක්‍රීඩා කිරීමට හැකිවෙතැයි මා අපේක්ෂා කරනවා.” ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රමුඛ පුහුණ­ කාර්යමණ්ඩල පිළිබදවද අදහස් දැක්වූ ශ්‍රී  ලංකා මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ කියා සිටියේ මෙවැන්නකි.

“අපගේ ප්‍රධාන පුහුණ­කරුවා සෑම අවස්ථාවකම අපට ඉතා හොඳ අභිප්‍රේරකයෙක්. එසේම ඔහුට සෑම අවස්ථාවකම අවශ්‍ය වූණේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය අපි අනුගමනය කරනවා දැකීමයි. එසේ අපගේ සැළසුම් වලට අනුව නිදහසේ ක්‍රීඩා කිරීමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. එසේම තරුණ කණ්ඩායමක් ලෙස මෙවන් තරග ජයගැනීමට එය අපට විශාල සහයක් සපයනවා.”