මාළු වෙළෙඳපොළේ තරුණයාගේ සිරුර නුවරඑළිය – කොටගල පාරේ

0
7

හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මේෆිල්ඩ් මංසන්ධියේදී තුවාල සහිතව අබිරහස් ලෙස මියගොස් සිටි තරුණයා රිය අනතුරකින් මියගොස් ඇති බවට දිඹුල පතන පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ තලවකැලේ මත්ස්‍ය වෙළෙඳපොළක සේවය කරමින් සිටි 30 හැවිරිදි  තරුණයෙකි.

මියගිය තරුණයා තලවකැලේ ප්‍රදේශයේ සිට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීම සඳහා හැටන් කුඩාගම ප්‍රදේශයේ නවාතැන්පොළට පැමිණෙන අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති බවත් ඔහු බීමත්ව ප්‍රධාන මාර්ගයේ වැතිරී සිටියදී හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කළ ඩොල්ෆින් වර්ගයේ වැන් රථයක් 11 දින රාත්‍රි  11ට පමණ බිම වැතිරී සිටි තරුණයාගේ ඇඟ මතින් ධාවනය වී තිබේ.

එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයකු වෑන් රථයෙන් බිමට බැස අනතුර නිරීක්ෂණය කර පලා යන අයුරු අනතුර සිදු වූ ස්ථානයේ වෙළෙඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ පටිගත වී තිබූ බව දිඹුල පොලිසිය කියයි. අනතුර කර පලාගිය වෑන් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගැනීමට දිඹුලපතන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මියගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් සංජීව ෆොන්සේකා මහතා විසින් ස්ථාන පරීක්ෂාවක් සිදු කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන ලෙසට දිඹුල පොලිසියට නියෝග කර ඇත.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි,  හැටන් _ චන්න අද්දරගේ,

වටවල – සී.ඩී.එච්. හේවගේ