මහා විහාරයේ කැණීම් සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක්

0
69

සංචාරක කර්මාන්තය යනු මෙරටට ඩොලර් ගෙනෙන ප්‍රධාන  මාර්ගයකි. නමුත් රටේ පැවැති විවිධ අර්බුද නිසාවෙන් සංචාරකයන්ගේ පැමිණීම සාපේක්ෂ ලෙස අඩු විය. එහෙත් රට යම්තාක් දුරට ස්ථාවර වීමත් සමඟ මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීමේ යම් වැඩිවීමක් අපට දක්නට ලැබේ. සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, සංචාරකයන් ලංකාවට වැඩි වශයෙන් ගෙන්වීමට අවශ්‍ය සැලසුම් හා සංචාරක ස්ථාන ප්‍රවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග ආදී කරුණු රැසක් සම්බන්ධයෙන්   කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විනේතෘ ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සමඟ කළ සංලාපයකි.

රටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වශයෙන් සංචාරක කර්මාන්තය නැවත ගොඩනැඟීම අවශ්‍යයයි නේද?

වර්ෂ 2018 තමා ලංකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ආගමනය වූ වසර. එම වර්ෂයේදී සංචාරකයන් මිලියන 2.3ක් ලංකාවට පැමිණ තිබෙනවා. ලංකාවේ විදේශ සංචිත වර්ධනය කිරීමේදී ඩොලර් බිලියන 4ක – 5ක විශාල ආදායමක් සංචාරක කර්මාන්තය හරහා ලබා දුන්නා. මෙහි තිබුණු බලගතුකම  බිඳවැටුණේ  පාස්කු ඉරිදා ප්‍රහාරය නිසයි.

ඒ වගේම ලෝකයේ හටගත් කොවිඩ් වසංගතය සමඟත් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් සිදු වුණා. වර්තමානයේ  රටේ ඇතිවෙලා තියෙන  දරුණු ආර්ථික අර්බුදය නිසාත් මෙම සංචාරක කර්මාන්තයේ යම් කිසි බිඳවැටීමක් දක්නට ලැබුණා. නමුත් මේ වන විට රටේ ඇතිවී තිබෙන දේශපාලනික ස්ථාවරභාවයත්, සමාජ ස්ථාවරභාවයත් නිසා  සංචාරක කර්මාන්තය ක්‍රමානුකූලව ඉදිරියට යන බව අපට පේනවා.

පසුගිය අවුරුද්දට සාපේක්ෂව බලනවිට, මේ වර්ෂයේ අගෝස්තු මාසය වන විට ලක්ෂ 05ක් පමණ සංචාරකයන් පැමිණ තිබෙනවා., මේ වසර අවසානය වන විට ලක්ෂ 10ක සංචාරක ආගමනයක් සිදුවෙයි කියලා සංචාරක කාර්යාංශය ඇස්තමේන්තු කර තියෙනවා. ආර්ථික බිඳවැටීමත් එක්ක බි්‍රතාන්‍ය, ඕස්ට්‍රේලියාව  වගේ රටවල් ලංකාවට පැමිණීම පිළිබඳ විවිධ තහංචි  පනවනු ලැබුවා, නමුත් දැන් ඒවා ඉවත් කර තිබෙනවා. ලංකාව මේ වන විට සිටින්නේ ඇත්තටම සුබවාදී වකවානුවකයි. විශේෂයෙන්ම  මේ වකවානුව ලෝකයේ ශීත සමය ආරම්භ වන කාලය. ඒ තත්ත්වය දිගටම රැගෙන ගියොත්  ලංකාව සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත් වෙයි.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ විවිධ ප්‍රදේශවලදී සංචාරකයන්ට දුෂ්කරතාවලට (ප්‍රවාහන, ඉන්ධන, නවාතැන්) මුහුණදෙන්න සිදුවෙනවා. මේ ගැටලු‍ සංචාරක කර්මාන්තයට බලපාන්නේ කොහොමද?

ඇත්තටම  මේවා  ලංකාව  වගේ දියුණු වෙමින් පවතින රටවල තිබෙන  ප්‍රශ්න. ඒ සඳහා රටක් හැටියට ප්‍රතිකර්ම සැපයිය  යුතුයි. යටිතල පහසුකම් කියන්නේ සංචාරකයන් පැමිණෙන විට ඉතා හොඳින් තිබිය යුතු දෙයක් ලෙසයි සංචාරකයන් කල්පනා කරන්නේ. පසුගිය කාලයේ රටේ තිබුණු ඉන්ධන, විදුලි අර්බුද සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑවා.

ලංකාවේ සංචාරක කර්මාන්තයේ විවිධ නිෂ්පාදනය තියෙනවා. සංස්කෘතික සංචාර, ස්වාභාවික සංචාර, වෙරළ ආශ්‍රිත සංචාර, සෆාරි සංචාර ඒ අතර අපිට හඳුනාගන්න පුළුවන්. සංස්කෘතික සංචාර: Cultural Tourism) සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන ආයතනය තමා මධ්‍යම සංස්කෘතික අරමුදල. සංචාරකයන් ගැවසෙන තැන්වලට අවශ්‍ය පහසුකම් ලබාදීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ වගකීමක්.

ඒ පහසුකම් දියුණු කරන බවක් අපිට පෙනෙන්නට නැහැ. ඒ වගේම සංචාරක අමාත්‍යාංශයට ප්‍රධාන වගකීමක් තියනවා, එයට බද්ධ වී තිබෙන ආයතනවල ප්‍රශ්න පිළිබඳව සොයා බැලීමට. ලංකාවේ සංස්කෘතික සංචාරයේ තිබෙන ප්‍රධාන ගැටලු‍වක් වන්නේ අනුරාධපුරයට පැමිණෙන සංචාරකයන්ගෙන් ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට, ඒ ප්‍රදේශයේ හෝටල්වලට ලැබෙන ආදායම අඩුවීම.

එයට ප්‍රධාන හේතුව වන්නේ එන සංචාරකයන් අනුරාධපුර ප්‍රදේශයේ නවාතැන් නොගැනීම. එහි ප්‍රතිවිපාකය තමා කුඩා තැඹිලි විකුණන්නා, බුලත්විට විකුණන්නා, සිසිල් බීම විකුණන්නාගේ සිට මේ කර්මාන්තයෙන් යැපෙන ප්‍රධාන හෝටල් දක්වා ආදායමක් නොලැබීම. මේ වගේ ප්‍රශ්න විසඳීම අවශ්‍යයි. කුඩා වෙළෙන්දාගේ සිට  මහා පරිමාණ හෝටල් හිමියා දක්වා ආදායම් බෙදීයෑමේ ක්‍රමයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා.

 අපේ රටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ පූජා නගර නැරඹීම සඳහායි පූජා නගරවල ඓතිහාසික වටිනාකමට හානි නොවන ආකාරයට සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත්කර ගන්නේ කොහොමද?

ලංකාවේ ප්‍රධාන සංචාරක ක්‍රමවේදයක් තමා, සංස්කෘතික සංචාරය යටතේ තිබෙන ආගමික සංචාර. විශේෂයෙන්ම ආසියාව තුළ මෙම ආගමික සංචාරවලට වැඩි ඉඩකඩක් ලැබී තිබෙනවා. එම  ඉඩකඩ ලැබී තිබෙන්නේ බෞද්ධාගම  ආශ්‍රයෙන් වීමද වැදගත් කාරණයක්. බුදු දහම සමඟ පැමිණි බෞද්ධ ගොඩනැඟිලි හා සම්බන්ධ අදහස් ආසියාතික සමාජයේ ඉදිරියට පැමිණ තිබෙනවා. ඉන්දියාව, නේපාලය වැනි රටවල් ආගමික සංචාරක කර්මාන්තය පැත්තෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. මෑත කාලයේ මෙම කර්මාන්තයෙන් ඉදිරියට පැමිණි රටක් ලෙස නේපාලය අපට හ¾දුනාගන්න පුළුවන්.

නේපාලයේ බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ලු‍ම්බිණිය, තරුණ කාලය පිළිබඳ පුරාවිද්‍යාඥයන් තහවුරු කරගෙන තිබෙන කපිලවස්තුව නගරය වගේ ස්ථාන වැඩි වශයෙන් ලෝකයේ ප්‍රවර්ධනය කරන්න නේපාල රජය කටයුතු කර තිබෙනවා. වර්තමානයේ යුරෝපියානු සමාජයේ රටවල්ද මෙවැනි ප්‍රදේශ නැරඹීමට පැමිණෙන ආකාරය  අපට  දකින්න  පුළුවන්. ලංකාවට ඉතා හොඳ ශක්‍යතාවක් තියෙනවා මේ ආගමික සංචාර දියුණු කරන්න.

එයට ප්‍රධාන හේතුව වෙන්නේ අපේ රටත්, ආසියාවේ තිබෙන රටවල් කිහිපයකත්  තමා ථේරවාදී බුදුදහම අදටත් නොනැසී ආරක්ෂා වෙලා තියෙන්නේ. අපේ රටේ  ආගමික සංචාර යටතේ ථේරවාදී බුදුදහම ප්‍රවර්ධනය කරන්න ශක්තිමත් වැඩසටහනක් තවම සකස් කර නැහැ. ලංකා ශිෂ්ටාචාරයේ  ආරම්භය, ලංකාවේ ථේරවාදී බුදුදහමේ ආරම්භය, මිහිඳු හිමියන් වැඩම කරලා ඒ අදහස් ජනිත කළ නගරය තමා අනුරාධපුරය.

ඒක තහවුරු කරන්න පුළුවන් පුරාවිද්‍යා සාක්ෂි රාශියක් තියෙනවා. නමුත් අවාසනාවකට මේ කරුණු සංචාරක කර්මාන්තය ආශ්‍රයෙන් සංචාරකයන්ට නරඹන්න පුළුවන් වෙන වැඩපිළිවෙළක් සකස් කරන්න අපිට බැරිවෙලා තියෙනවා. එය විශාල අඩුවක්. විශේෂයෙන් අපි දැක්කා සංචාරක අමාත්‍යවරයා ඉන්දියාවට ගිහින් තිබුණා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න. ඔහුගේ ඉලක්කය වී තිබෙන්නේ ආගමික හා සංස්කෘතික සංචාර ප්‍රවර්ධනය කිරීම.

සංචාරකයන් මිලියනයක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරාගන්න ප්‍රධාන කාර්යයක් බවට පත් කරගෙන තිබෙනවා. ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාර ප්‍රවර්ධනය කිරීම ථේරවාදි බුදුදහම, මහාවිහාරය ආශ්‍රිත තිබෙන වටිනා ගොඩනැඟිලි, පුරාවිද්‍යාත්මක කැණීම් ක්‍රම ආශ්‍රයෙන් ඒවා මතු කරගෙන අපේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුයි. මේ කර්මාන්තය නඟාසිටුවීමේදී ඒ සම්බන්ධ  විශේෂඥයන්ගේ අඩුවක් තිබෙනවා. ඒ වගේම මේ කර්මාන්තය දියුණු කරන්න වෙනමම ආයතනයක්. ස්වාධීන ආයතනයක් අවශ්‍ය වෙනවා.

මහාවිහාරික කැණීම් කටයුතු ආරම්භ කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා අනුරාධපුරයේදී පැවැසුවා. මහාවිහාරික කැණීම් කටයුතු ආරම්භ කිරීම සංචාරක කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

ඇත්තටම වර්තමාන  ජනාධිපතිවරයා, අගමැති වෙලා ඉන්නකොට 2015 වර්ෂයේ මහා විහාරයේ විශේෂ වැඩසටහනක් පටන් ගත්තා. ඒ කාල වකවානුවේ තමා මේ මහා විහාර කැණීම් කටයුතු ආරම්භ වන්නේ. මහා විහාර ව්‍යාපෘතිය පටන් ගත්තේ මහා විහාරවාසී රුවන්වැලිසෑයේ ප්‍රධාන නායක ස්වාමින් වහන්සේ වන පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය මතයි.

2016දී මේ ව්‍යාපෘතියේ කැණීම් කටයුතු ආරම්භ කළා. නේපාලයේ ලු‍ම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මහා බි්‍රතාන්‍යයේ පුරාවිද්‍යාඥ  මහාචාර්ය රොබින් කනින්හැම් නම් ලෝකයේ ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයා ලංකාවට ගෙන්වනු ලැබුවා. එතුමාගේ උපදෙස් අනුව තුන් අවුරුදු වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව තුළ මේ සංචාරක සිතියම කොහොමද ඉදිරියට ගෙනියන්නේ. කැණීම් ක්‍රම ආශ්‍රයෙන් බෞද්ධ ආගමික දේවල් ලෝකයට අරන් යන්න පුළුවන් කොහොමද කියන කාරණා පිළිබඳව සොයා බැලු‍වා. ඒ අදහස් මාලාව ඉදිරියට ගෙනයෑම ඉතාම වැදගත්.

මහාවිහාරික කැණිම් කටයුතු ආරම්භ කළත් එය දීර්ඝව කරගෙන යන්න බැරි වුණා. ඒක නිසා නැවත මහා විහාරික කැණීම් කටයුතු ආරම්භ කරනවා නම් ඒක හොඳ දෙයක්. ඒ හරහා නේපාලය, ඉන්දියාව වගේ රටවලට යන බෞද්ධ සංචාරකයන් අනුරාධපුර නගරයටත්  ගෙන්වා  ගන්න පුළුවන්. අපිට අවශ්‍යයි මහා විහාරයේ ඇති ආගමික වැදගත්කම සංචාරක දෘෂ්ටි කෝණයෙන් ඉදිරියට ගෙනියන්න.

අභයගිරිය, ජේතවනාරාමය ලෝක ආගමික සංචාරක ව්‍යාපාරයෙන් ජනප්‍රිය කරලා තියෙනවාද, අභයගිරිය, ජේතවනාරාමය තමයි ලෝක උරුම ස්ථාන බවට පත් කරගෙන  සංචාරකයන් විශාල  වශයෙන්  බලන්න එන්නේ. මේ කැණීම්වලින් මතු කරගන්නා ථේරවාදී බුදුදහමේ වැදගත්කම ථේරවාදී සම්ප්‍රදායේ ඇති වැදගත්කම තමයි ජනාධිපතිවරයා මතු කරන්නේ. නිර්මල බුදුදහම ආශ්‍රයෙන් ගොඩනැඟු‍ණු ඒ සම්ප්‍රදායේ  රුවන්වැලිසෑය මහා විහාර ආශ්‍රිතව තමයි අපි සංචාරක කර්මාන්තය පාදක කරගෙන ඉදිරියට ගෙන යා යුත්තේ.

විවිධ හේතුන් මත අපේ රටේ ප්‍රතිරූපය බිඳ වැටීම සංචාරක කර්මාන්තයට දැඩිව බලපාල තියෙනවා. මේ තත්ත්වය යළි ගොඩනඟා ගැනීමට කළ  යුත්තේ කුමක්ද?

මෑත කාලයේදී අන්තවාදී, ත්‍රස්තවාදීන් නිසා ඇතිවෙච්ච පාස්කු ඉරිදා ප්‍රහාරය, ආර්ථික අර්බුදය වගේ ප්‍රශ්න නිසා තමයි ලංකාවේ ප්‍රතිරූපය විශාල වශයෙන් බිඳ වැටුණේ. ඒ නිසා සංචාරක කර්මාන්තයට  කිසියම් වූ  මන්‍ෙදා්ත්සාහික බවක් ඇති වුණා. සංචාරක කර්මාන්තය තුළින්ම තමා මේ බිඳවැටුණ ප්‍රතිරූපය ගොඩනඟා ගත යුත්තේ.

ඒ තිබුණු තත්ත්වය මේ වනවිට සමථයකට පත්වෙලා තියෙනවා, ඒ තිබුණු වටපිටාව දැන් ලංකාවේ නැහැ. “ශ්‍රී ලංකාව  ඉතා යහපත් රටක්, සංචාරය කිරීමට සුදුසු රටක්, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් සමථයකට පත් වෙලා තියෙනවා” කියන මේ පණිවුඩය  ගෙනියන්න පුළුවන් හොඳ පාලමක් තමයි සංචාරකයන්ගේ ආගමනය. සංචාරකයන් යථාර්ථවාදීව ලංකාවට පැමිණිලා ඒ දේවල් බැලීමත්, ලංකාවේ ඒ අධ්‍යයන කටයුතුවලින් ලැබෙන ආභාසයත් තමන්ගේ මවු රටට අරගෙන ගිහින්  අනෙකුත් තමන්ගේ රටේ සිටින ස්වදේශීය ජනතාවට ලබාදෙන පණිවුඩයත් සමඟම අපට යහපත් ප්‍රතිරූපයක් රටට ගොඩනඟා ගන්න පුළුවන්.

එක පැත්තකින් සංචාරක ආගමනය කියලා කියන්නේ රටේ යහපත් ප්‍රතිරූපය අපට ගොඩනඟා ගන්න පුළුවන්  පාලමක් බවට පත්වෙනවා. අපේ රටේ සාර්ථක ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න පුළුවන් වුණොත් මේ වර්ෂයේ අපි අපේක්ෂා කරන, සංචාරකයන් ලක්ෂ 10ක ප්‍රමාණය ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

රටක් වශයෙන් අපි සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ලබා දෙන ප්‍රචාරණය ප්‍රමාණවත්ද?

ඇත්තටම ලබාදෙන ප්‍රචාරණය ප්‍රමාණවත් කියලා අපිට කියන්න බැහැ. අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ සංචාරක කාර්යාංශය හරහායි. අපිට වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන්. මොනවද සංස්කෘතික පැත්තෙන් දියුණු  කරන්න පුළුවන්, මොනවද අපේ රටේ තියෙන්නෙ, අනෙකුත් සංචාරක නිෂ්පාදනවලින් මොන මොන වගේ දේවල් අපේ රටට පැමිණීම තුළින් බලන්න පුළුවන්ද කියලා කිසියම් විධියක ප්‍රවර්ධනයක් ඒ ඒ රටවල සිදු කළ යුතුයි.

ලංකාව දේශීය වශයෙන් සංචාරක ප්‍රවර්ධනය සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැහැ. දේශීය සංචාරක කර්මාන්තය මීට වඩා හොඳට දියුණු කරන්න පුළුවන් ශක්‍යතාව අපිට තියෙනවා. අනෙකුත් දියුණු විදේශ රටවල්වලට සාපේක්ෂව ලංකාවේ සංචාරක සංස්කෘතියක් නැහැ දේශීය සංචාරකයින් තුළ. සංචාරක සංස්කෘතියක් ප්‍රවර්ධනය වැඩසටහන්ද අපට දැකගන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ ජනතාව අතර දේශීය සංචාරක සංස්කෘතියක් ගොඩනඟන්න විශාල කැපවීමක්, මැදිහත්වීමක් සංචාරක කර්මාන්තය සමඟ නියැළී සිටින දේශීය ආයතනවලට කරන්න පුළුවන්. ලංකාවේ සංස්කෘතික  සංචාර තිබෙනවා, ස්වාභාවික සංචාර තිබෙනවා, සෆාරි සංචාර තිබෙනවා.

මේවා කරන ආයතන තිබෙනවා. මොනවද ඒ ආයතන ලංකාවේ දේශීය සංචාරකයන් ඒ ඒ තැන්වලට  ඒකරාශී කරගැනීම සඳහා සහ දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වාර්ෂිකව සංවිධානය කරන වැඩසටහන්. එම වැඩසටහන් ඇත්තටම නැති තරම්. මුහුණු පොත හරහා හෝ පුවත්පත් හරහා නව අංග ඉදිරිපත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම වැදගත් වෙනවා. සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් තමා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ.

2023 වසර වන විට සංචාරකයන්ගේ පැමිණීම වැඩි කර ගැනීම සඳහා සකස් කළ යුතු සැලසුම් මොනවාද?

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් හොඳ කාල පරිච්ඡේදයක් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අවුරුදු දෙකක කාලය තුළ උදා වුණා. ඒ කාල පරාසය තුළ තමයි ඉදිරි සංචාරක සැලසුම් සකස් කිරීම  නිදහසේ කරන්න පුළුවන්කම තිබුණේ. නමුත් මං හිතන්නේ නැහැ විකල්ප වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබුණා කියලා. උදාහරණයක් වශයෙන් සංස්කෘතික සංචාරක රඳා පවතින්නේ පුරාවිද්‍යා නටබුන් මතයි තවමත් අපි රැඳී සිටින්නේ 1980 වසරවල ලෝක උරුම ලෙස නම් කළ ස්ථාන කිහිපයේ 

පමණයි. එතැනින් එහාට අලු‍ත් දෙවල් දෙවල් කොහොමද අපි ලබා දෙන්නේ  කියන එක  තවම කල්පනා කරලා නැහැ. අපිට තිබුණා ඇත්තටම ඒ අවුරුදු දෙක තුළ අලු‍ත් සැලසුම්, විකල්ප තීරණය කරන්න. ඒ වසර දෙකේ සංචාරකයන් පැමිණෙන්නේ නැති කාල තිබුණා. බොහෝ සංචාරක නිෂ්පාදන පවත්වන ආයතනවලට ඒවා ප්‍රවර්ධනය කරන්න පුළුවන් ඒ මූලාශ්‍ර මොනවාද කියන එක විශාල අඩුපාඩුවක් තිබෙනවා. සංස්කෘතික සංචාරයේ ඒ වෙනස අපි දකිනවා. එය සම්පූර්ණ වශයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. සංස්කෘතික සංචාරක තවම යන්නේ සාම්ප්‍රදායික විදිහට. ඒ නිසා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුමයි. ක්ෂණිකව සංචාරක සැලසුම් හදන්න ඕනේ.

ඒ සංචාරක නව සැලසුම් මත තමයි සංස්කෘතික සංචාර පැත්තෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. නව අදහස් අපිට අවශ්‍යයි. ලංකාවේ ලක්ෂයක් දෙකක් විතර පුරාවිද්‍යාත්මක ස්මාරක තිබෙනවා. නමුත් කීයෙන් කීදෙනාද  ස්ථාන නරඹන්න යන්නේ. අපේ රටේ ලෝක උරුම ස්ථාන 6කට විතරයි ජාත්‍යන්තරව සංචාරකයන් පැමිණෙන්නේ. එතැනින් එහාට අපිට හිතන්න පුළුවන්කම ලැබිලා නැහැ. පුරාවිද්‍යා ස්මාරකයක් කියන්නේ විදේශ සංචිත එකතු කරන්න පුළුවන් තැනක්. ඒ කාර්යය කරන්න වෙනම ව්‍යුහයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තය ගොඩනඟන්න පුළුවන් වෙනවා.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළ අදහස් අරගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන් විශේෂඥ කණ්ඩායමක් එක තැනකට රැස් කරන්න අවශ්‍යයි. එවැනි විශේෂඥ කණ්ඩායමක් සහිත ආයතන ව්‍යුහයක් ඕනේ. රටට තියෙන සාම්ප්‍රදායික ආයතනවලින් ඒක ගන්න බැහැ. සංචාරක කර්මාන්තයේ යම්කිසි ඉලක්කගත කිරීමක් තිබුණා අනුරාධපුරය, සීගිරිය වගේ ඒවා පටන් ගන්නකොට. නමුත් ඒක එතැනින් නතර වෙලා තියෙන්නේ.

එතැනින් එහාට ඉතිහාසයේ සැඟවිලා තියෙන සත්‍ය, අංග අපි කොහොමද ප්‍රවර්ධනය කරන්නේ සංස්කෘතික සංචාරය ඇසුරින් කියන එකට ව්‍යුහයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. මහාවිහාර සම්ප්‍රදාය කියන්නේ අපේ රටේ මූලය, අපි ගොඩනැඟෙන්නේ ඒ හරහා. ඉතින් අපි කොහොමද ඒක  එළියට ගන්නේ, ඒක කරන්න නම් කැණීම් ක්‍රම සහ ඒ සම්ප්‍රදාය පෙන්වන්න අවශ්‍යයි. නමුත් අපි පෙන්නලා තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මහායාන සම්ප්‍රදායයි. ඉතිහාසයට බාධා නොවන විදිහට විශේෂ කාරණා මතුකර ගන්න අවශ්‍ය  ව්‍යුහයක්  සකස් කිරීම තමයි කළ යුත්තේ.

සංලාපය _ රුවන් පුෂ්පකුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය,

කැලණිය විශ්වවිද්‍යාලය