මතවාද ඇතත් අගමැති වෙනස් වෙන්නේ නෑ

0
24

විවිධ  මතවාද පැවැතියත්  අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවැසීය.

වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පරිණත දේශපාලනඥයකු බව ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. පත් කරන ඇමැති ධුරවලට විවිධ  චෝදනා  එල්ල වන නමුත් නාමල් රාජපක්ෂද ඇමැතිකමක් දරන්නට සුදුසු පුද්ගලයකු යැයිද රණතුංග  මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යවස්ථානුකූලවයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රි වැටුපක්. වාහන පවා ඉතාම සීමිතයි. මේ අමාරු වෙලාවේ රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න අපි ඔක්කොම සූදානම්.

ඇතැම් අමාත්‍යාංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමැතිවරයකුට මේ සියලුම ආයතන ගැන හොයල බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියලුම මන්ත්‍රිවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන.

රාජ්‍ය නිලධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමැතිකම් භාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා, ඒ වෙලාවෙත් ඇමැතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන්පාඨයක් විතරයි.

මේ වෙලාවේ රටේ සියලුම දෙනාට ආර්ථික අපහසුකම් තිබෙනවා. අපි අතුරු අය-වැය ගෙනාවෙත් ජනතාවට සහන ලබාදෙන්නයි. ඒ වගේම නොවැම්බර් මාසයේදී ලබන වසර සඳහා වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පවතින ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගනිමින් එමඟින්  ජනතාවට තවත් සහන ලබාදෙන්න අපි බලාපොරාත්තු වෙනවා.

මේ රටේ විපක්ෂයට වගේම අරගලකරුවන්ටත් තවමත් රාජපක්ෂ භීතිකාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට එහෙම භීතිකාවක් නැහැ. මේ රටේ සාමකාමී අරගලකරුවන්ට අවශ්‍ය වුණේ සිස්ටම් චේන්ජ් එකක්. ඒක අපිත් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති තනතුරට පත්කළේ ඒ සඳහායි. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තය නැවත දේශපාලනයට එනවද නැද්ද කියලා ඔහු තීරණය කළ යුතුයි. ඔහු කළ දේවල් හරිද වැරදිද කියල අනාගතය තීන්දු කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුර්වල නායකයෙක්. ඔහු අභියෝග භාරගන්න බයයි. එළියට වෙලා කියවන්නේ නැතිව මේ අභියෝගය භාරගෙන අපිත් එක්ක වැඩකරමු කියලා අපි කිව්වා. නමුත් ඔහු බයයි. අනුර කුමාර දිසානායකත් එහෙමයි. මේ දෙන්නම අභියෝග භාරගන්න බයයි යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.

අනුරාධා හේරත්