භක්තියෙන් කතා කළාම යක්ෂයෝ වගේ පිරිමිත් මෙල්ල වෙනවා

0
55

ආදරය කියන මාතෘකාව ඇතුළෙදී අපි එළැඹෙන පූර්ව නිගමන ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. ලෝකයේ ඉන්න හොඳම කෙනා ඔයා කියලා පටන් ගන්න සමහර ආදර කතාවල කතානායකයන් ජීවිත සුනුවිසුනු කරලා වෙනස්වන ඉක්මන සමහර වෙලාවට හිතාගන්න බැහැ. සමහරවිට කසාද බඳින්න කලින් මවාගෙන හිටපු ප්‍රතිරූප බැන්දට පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නේ දකුණු ඉන්දියාවේ ඉඳලා කොළඹ පැත්තට හමාගෙන එන සුළි සුළඟකටත් වඩා වැඩි වේගයකින්. ආදරේදී විතරක් නෙමෙයි ඕනෑම මානුෂ ගනුදෙනුවකදී එහෙම තමයි. මිනිස්සු වෙනස් වෙන්නේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්. සමහර සම්බන්ධතා ආරම්භ කරනකොට අපි එළඹුණු පූර්ව නිගමන අතරමැදදී සුන්නද්ධූලි වෙලා යන්නේ බලාපොරොත්තු නොවුණු ස්වරූපයෙන්.

“මම එයාව බඳින්න කලින් හිතන් හිටපු හැම දේම වැරදියි ප්‍රමේෂ්. හරිම නිහතමානී, අවංක ප්‍රතිරූපයක් මම එයා ගැන මවාගෙන තිබුණේ. හැබැයි කසාද සහතිකය අස්සන් කරලා ගෙදරට ආවට පස්සෙ හැමදේම වෙනස් වුණා. එයා මට දැන් බනින්නෙ බැල්ලි කියලා. එයා මට දැන් සලකන්නෙ තිරිසනෙක්ට වගේ. මම හිතන්නේ මට වැරදුණා. මට ලැබිලා තියෙන්නෙ මේ ලෝකේ ඉන්න ජරාම පිරිමියා.”

පහුගිය සතියේ දවසක දුරකථනයේ එහා කෙළවර ඉඳලා මෑතකදී විවාහ වුණු එක්තරා යුවතියක් මට එහෙම කිව්වා. ආදරය පිළිබඳව ඇය ගොඩනඟාගෙන තිබ්බ පූර්ව නිගමන සියල්ල සුනුවිසුනු වෙලා තිබ්බ මොහොතක ඇය බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන් මට කතා කළා.

ඇත්තටම මේ ලෝකේ ඉන්න ජරාම පිරිමියා ලැබුණොත් ඔයා මොකක්ද කරන්නේ? මේ ලෝකේ ඉන්න නරකම මනුස්සයත් එක්ක සම්බන්ධතාවක් පවත්වන්න සිද්ධ වුණොත් ඔයා මොකක්ද කරන්නේ?

මෙතැනින් එහාට මේක කියවගෙන යන්න කලින් ඔයා ඔයාගෙන්ම මේ ප්‍රශ්නේ අහලා බැලුවොත් ඔයාට එක එක උත්තර ලැබෙයි. සමහරවිට ඔයාගේ හිත කියයි ඔය සම්බන්ධෙ නතර කරලා දාලා නිකන් ඉන්න කියලා. සමහර විට ඔයාගේ හදවත කියයි කරුණාකරලා වෙන කෙනෙක් හොයාගන්න කියලා. සමහරවිට ඔයාගෙ ඇතුළතින් හඬක් නැඟෙයි ජීවත්වන ටික කාලය හොඳ මිනිස්සු එක්ක විතරක් ජීවත් වෙයන් කියලා. කියවන එක මොහොතකට නතර කරලා මේ ප්‍රශ්නයට ඇත්තටම ඔයා ළඟ තියෙන පිළිතුර මොකක්ද කියලා චුට්ටක් අහලා බලන්න. හිතලා බලන්න.

මීට කාලයකට කලින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජීවත් වුණු ශ්වේතා නම් තරුණ යුවතියකට එකී නගරයේ හිටපු දරුණුතම මනුස්සයා සමඟ විවාහ වෙන්න සිද්ධ වුණා. අනුන්ගේ ධනය සොරාකමින්, වීදිවල සිටින සෙසු මිනිසුන්ව පීඩනයට පත් කරමින්, වංචා රැසකට වරදකරුවා බවට පත්වෙමින් ජීවත්වුණු මෙම පිරිමියා හොරකු මෙන්ම වංචනිකයකු ලෙස ප්‍රාන්තය තුළ ප්‍රසිද්ධ වී සිටියා.

මෙම පිරිමියා සමඟ විවාහ වෙනකොට ඔහුගේ සියලු අඩුලුහුඬුකම්, වංචනික ක්‍රියාකාරකම් මෙන්ම දුර්ජන ගති ලක්ෂණ ශ්වේතා දැනගෙන හිටියෙ නැහැ. නමුත් ඒවා දැනගත් පසුව කිසිවක් එතරම් තැකීමකට නොගත් ඇය, තම පිරිමියා සමඟ තිබූ ප්‍රේමය වඩා බලවත් කියලා හිතලා ඔහු සමඟ හොඳින් ජීවත් වෙන්න තීරණය කළා. දරුවන් ලැබුණු පසුව හෝ ඔහුගේ වංචනික ක්‍රියාකාරකම්

හා දුර්ජන ගති ලක්ෂණ අවසන් වෙයි කියලා ශ්වේතා බලාපොරොත්තු වුණත් එය එසේ සිදු වුණේ නැහැ. තරුණ කාලයේ ඉඳලා ඔහු පුරුදු පුහුණු කරපු ගති ලක්ෂණ ඔහුට අතහැර ගන්නට බැරි වුණා. නමුත් ශ්වේතා ඔහුගේ සියලු වැරදි අමතක කරලා ඔහුට හොඳින් සලකන්නට පටන්ගත්තා. සමාජයෙන් ඔහුට නොලැබුණු ගෞරවය ශ්වේතා ඔහුට ගෙදරදී ලබාදුන්නා. “ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම පිරිමියා” සමහර අ¾දුරු රාත්‍රීන්වලදී ඇය තම ස්වාමියාගේ කනට මිමිණුවා.

කාලයක් යනකොට ඔහු ශ්වේතා ඉදිරියේ ළදරු ළාමක චරිතයකට පණ පොවන්නට පටන්ගත්තා. සමාජයට චණ්ඩියකු වුණත් ශ්වේතා ඉදිරියේ අහිංසක චරිත ලක්ෂණ රඟදක්වන්නට පටන්ගත්තා. ඇය ඉදිරියේ ඔහු අවංකවම තමන්ගේ වැරදි පිළිගනිමින් නින්දට පෙර හැමදාම හඬන්නට පුරුදු වෙලා හිටියා. ඇයට අසීමිත ලෙස ආදරය කළා. දරුවන්ගෙ ඕනෑ එපාකම් වුවමනාවටත් වැඩියෙන් සොයා බැලුවා. ටික කලක් යනකොට ප්‍රාන්තයෙ නරකම පිරිමියා ගෙදරට හොඳම පිරිමියා බවට පත්වුණා. සමාජයට බාධාවක් වූ ඔහු ශ්වේතාට ආශීර්වාදයක් වුණා. බාහිර ජීවිතවලට තර්ජනයක් වුණු ඔහු ශ්වේතාගේ නිවෙසට ආරක්ෂාවක් වුණා.

එක්තරා අ¾දුරු සවසක පොලිස් වෙඩි පහරකින් ඔහු මියයන මොහොත වනතුරුම ඔහු ශ්වේතා ඉදිරියේ ඔහු ලොව හොඳම පිරිමියාගේ භූමිකාව හෙබවූවා. සුචරිත ගති ලක්ෂණ දාහක් තියෙන පිරිමියකුට වඩා ඔහු සාර්ථක ස්වාමි පුරුෂයෙක් බවට පත්වුණා.

ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ කතාව ගොඩනැඟෙන්නේ මීට වසර කිහිපයකට කලින් ශ්‍රී  ලංකාවේ මාතර ප්‍රදේශයෙන්. මාතර – දික්වැල්ලේ ජීවත් වුණු සුජානිට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න උපාධියක් හිමි, හොඳ රැකියාවක් කරන, හොඳ සමාජ සම්බන්ධතාවක් සහිත යහපත් මනුෂ්‍යයෙක් මුණගැහුණා. සාම්ප්‍රදායික රාමුවෙන් ටිකක් එහාට ගිහිල්ලා වෙන පිරිමි වගේ යහළුවොත් සමඟ සති අන්තයේ මධුවිත තොල ගාන්නෙ නැතිව, බිරියට හොරෙන් සම්බාහන ආයතනවල රස්තියාදු වෙන්නෙ

නැතිව, සෙසු පිරිමි වගේ කාර්යාලයේ අනෙක් ගැහැනුන්ට උකුලු මුකුළු කරන්නෙ නැතිව ඔහු වඩා පෞරුෂවත් පිරිමි ජීවිතයක් ගත කළා. ඔහු සුජානිට බෙහෙවින්ම ආදරය කළා. හැකි හැමවිටම ඇයව වැලඳ ගත්තා. අඩුපාඩුවක් නොකර හොඳින් බලා ගත්තා. නමුත් ටික කාලයක් යන කොට සුජානි අනවශ්‍ය විධියට තම සැමියාව සැක කරන්නට පටන් ගත්තා. ඇය ඔහුගේ සැමියා තරම් ප්‍රසන්න නොවුණු නිසාත්, සැමියා තරමට හොඳ සමාජ මට්ටමක් අත්පත් කර ගෙන නොතිබුණු නිසාත් ඇය තම සැමියා ගැන නිතරම සැකයක් ඇතිකරගත්තා.

ඔහු තමන් සිටියදී වෙනත් ගැහැනුන් සමඟ සම්බන්ධතා පවත්වනවාද යැයි අසමින් නිතරම රණ්ඩු කළා. එහි ප්‍රතිඵලයක් විධියට විවාහයෙන් වසරක් දෙකක් ගතවෙන තැනදි සුජානි ඉදිරියේ ඔහුගේ සැමියා ආවේගශීලී චරිතයක් රඟ දක්වන්නට පටන් ගත්තා. ඔහුට ගෙදරදී නිතරම තරහ ගියා. ආතතිය පිට කරන්නට බඩු පොළොවේ ගැහුවා. සුජානිගේ චෝදනාවලට ප්‍රතිචාර විදිහට ඇය සමඟ නිතරම වාද කළා.

පාසලේදී, විශ්වවිද්‍යාලයේදී, කාර්යාලයේදී මෙන්ම මිතුරු සමාජය තුළදී සාමකාමී චරිතයක් විධියට ජනප්‍රිය වෙලා හිටපු ඔහු අවසානයේදී සුජානි ඉදිරියේ ලොව නරකම පිරිමියාගේ භූමිකාවට පණ පොවන්නට පටන් ගත්තා. වෘත්තීය ජීවිතය තුළදී අතිශය සාර්ථක වුණු ඔහු පවුල් ජීවිතය තුළදී අතිශය අසාර්ථක වුණා.

ඔය සිදුවීම් දෙක සිදුවෙලා වර්ෂ ගණනාවක් ගතවෙන තැනදීත් මම අදටත් ඔය කතා දෙක මගේ අභිප්‍රේරණ සැසිවලදී මගේ ඕඩියන්ස් එකට කියනවා. විශේෂයෙන්ම මානුෂ ගනුදෙනු පිළිබඳව සහ මිනිස් සහ සම්බන්ධතා සාර්ථක කර ගැනීම සම්බන්ධව කතා කරනකොට අපි මිනිස්සු ජීවිතයට භාරගත යුතු ආකාරය මම මේ කතා දෙක ඔස්සේ නිතරම පැහැදිලි කරනවා.

මම ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්විඳපු, ඒ වගේම දැනටත් විශ්වාස කරන පොදු සත්‍යයක් තියෙනවා. ඒ මේ ලෝකෙ නරකම මනුස්සයා අපි ඉදිරියේ හොඳම ප්‍රතිරූපය බවට පත් කරන්නට වගේම මේ ලෝකේ හොඳම මනුස්සයා අපි ඉදිරියේ නරකම ප්‍රතිරූපය බවට පත්කරන්නට අපි සතුව බලතල තියෙනවා කියන එක.

මේ ලෝකයේ නරකම මනුස්සයා හමුවුණු වෙලාවක ඔයා ඒ මනුස්සයාට හොඳින් සලකන්නට පටන් ගත්තොත්, සමාජයෙන් ඔහුට නොලැබෙන ආදරය ලබා දෙන්නට පටන් ගත්තොත්, අනෙක් මිනිස්සු ඔහුට ලබා නොදෙන ගෞරවය ලබා දෙන්නට පටන් ගත්තොත්, ඔහු ඔයා ඉදිරිපිටදී හොඳම මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා. ලෝකයට කුමනාකාරයේ නරක චරිතයක් වුණත් ඔයා ඉස්සරහදි එයා හොඳම චරිතයකට පරිවර්තනය වෙනවා. නරකම මනුස්සයා ඉදිරියේ ඔහු හොඳයි කියන අදහස ඔයා පැළ කළොත් ඒ හොඳකම, යහපත්කම ඔයා ඉදිරියේදී දිගටම නඩත්තු කරන්නට ඔහු උත්සාහ ගන්නවා. එතකොට ඔයාගේ මනසේ එයා හොඳයි කියලා තියාගෙන ඉන්න ප්‍රතිරූපය එයා විනාශ කරලා දාන්න බය වෙනවා. ලේසියෙන්ම බැරිවුණත් ආයාසයෙන් හරි ස්වාභාවිකවම බැරි වුණත් කෘත්‍රිමව හරි ඔහු ගැන ඔයා ගොඩනඟපු යහපත් ප්‍රතිරූපය ඔහු දිගටම පවත්වා ගන්න උත්සාහ ගන්නවා.

මේ ලෝකෙ හොඳම මනුස්සයා ඔයාට හමුවුණු වෙලාවක ඔයා ඒ මනුස්සයාට නරක විධියට සලකන්න පටන් ගත්තොත්, එයාට චෝදනා කරන්න, විවේචන ඉදිරිපත් කරන්න පටන් ගත්තොත්, කොතරම් හොඳ කෙනකු වුණත් ඔහු ඔයා ඉදිරියේ ලොව නරකම මනුස්සයා බවට පරිවර්තනය වෙනවා. සමාජය ඉදිරියේ ඔහු නඩත්තු කරන හොඳ ප්‍රතිරූපය ඔයා ඉස්සරහ නඩත්තු කරන්න තවදුරටත් අවශ්‍ය නැති නිසා ඔහු ඔහුගේ ඇතුළත ඉන්න නරක ප්‍රතිරූපය ඔබට බියකින්, සැකයකින් තොරව පෙන්වන්නට පටන් ගන්නවා.

අපි චරිත භාරගන්නා විධිය අනුව ඔවුන් අපිට හොඳ වෙනවාද නරක වෙනවාද යන්න තීරණය වෙනවා. ඔයා කසාද බඳින සහකරුවා ලෝකයට හොඳම වුණත් නරකම වුණත් ඔහු හෝ ඇය ඔබට හොඳම කරගන්නවාද නරකම කරගන්නවාද යන්න සැමවිටම ඔබ අතේ පවතින තීරණයක් වෙනවා. මනුෂ්‍ය සම්බන්ධතා දීර්ඝකාලීනව නඩත්තු කරන්න බැරි වෙන්න, විවාහ ගිවිසුම් ජීවිත කාලයටම වලංගු නොවෙන්න, සම්බන්ධතා ඉදිරියේ මුලදී ගොඩනඟන පූර්ව පුරෝකථන මැදකට යනකොට වැරදි වෙන්න අපි මිනිස්සුන්ව පිළිගන්නා හා භාරගන්නා විධිය සහගත වෙනවා.

කසාද බඳින්න කලින් හොඳයි කියලා හිතපු කෙනා පස්සේ නරකයි කියල හිතෙන එක ඕනෑම කෙනෙක් මුහුණ දෙන්න යම් සම්භාවිතාවක් තියෙන සරල සාමාන්‍ය ජීවන සංසිද්ධියක්. පටන් ගන්න සමහර සම්බන්ධතාවල මැදකට යනකොට එයා ඉස්සර වගේ නැහැ කියලා ඔයාට හිතෙන එක හන්දියේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්නේ නැති සාමාන්‍ය තත්ත්වයක්.

මම කියන්නේ එහෙම අවස්ථාවක් මට දුරකථන ඇමැතුම දුන්න යුවතියට විතරක් නෙවෙයි ඔයාටත් ජීවිතයේ ඉස්සරහට මුණගැහෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවට මට ඉන්නේ ලෝකේ ජරාම මිනිහා කියලා හිතුණොත් කසාදය කටු ගාන්න හදිස්සි නොවී ආයෙත් නිවී සැනසිල්ලෙ මේ කතාව මතක් කරගන්න. අනවශ්‍ය චෝදනා කරලා ඔයාගේ ආදරය සහ විවාහය අපායක් කරගන්නෙ නැතිව ටිකක් ආයාසයෙන් හරි එයාව පැසසීමට ලක් කරන්න පුරුදු වෙන්න. ලෝකෙටම නරක වුණත් ඔයා මට හොඳයි කියලා කනට ළංවෙලා ආදරෙන් එයාට කියන්න. එයා කවුරු වුණත් කමක් නැහැ එයාට ටිකක් හොඳින් සලකලා බලන්න. ලෝකෙට යක්ෂයා ඔයාට දෙවියෙක් වෙන හැටි අත්විඳින්න. සාතන්ලා ඇතුළෙත් දේවරූප මවාගන්න ඔයා සතු බලය පාවිච්චි කරන්න.