බල්ලා මැරෙන බව දැනගත්තාම මැක්කො තව බල්ලෙක් හොයා ගන්නවා

0
20

“පොහොට්ටුව කියන බල්ලා මැරෙයි කියලා දැනගන්නකොට මැක්කො ටික තව බල්ලෙක් හොයා ගන්නවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉත්තෑපාන, පන්නිල, ගෝනමුල්ල කොට්ඨාස සභාව පිහිටුවීමේ රැස්වීම අමතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ කීවේය.

“සභාග හැදුව පක්ෂවල මදේ නැහැ. ගෙවිඳු කුමාරතුංග සභාගයට ඇවිත්. ගෙවිඳුගෙ ගෝලයා අනුප පස්කුවල් රනිල් එක්ක යනවා. වාසුදේව එනවා, වාසුගෙ ගෝලයා රනිල් එක්ක. තැන් තැන්වල සභාග, සන්ධාන අටව ගන්න හැදුවට මේ අර පරණ සෙට් එකම තමයි.

මේ සමහර උත්තර සන්ධාන කිව්වට මේව සූත්තර සන්ධාන. නව ලංකාවක් හදමු කියලා පැරැණි දූෂිතයන් ආරක්ෂා කරන්නයි මෙයාලා මේ උත්සාහ   කරන්නෙ. ආයෙත් වරක් මේ උත්සාහ කරන්නෙ පරණ සුපුරුදු රැවටීමේ සෙල්ලම කරන්නයි. මේකට ඉඩ නොදිය යුතුයි.

මේ රටේ මේ ජනාධිපතිවරු, අගමැතිවරුන් සමඟ කැබිනට්වලට වාඩිවෙලා වැඩි පොලියට ණය ගන්න අත ඉස්සුවෙ මේගොල්ල තමයි. කිසිදු වැඩකට නැති මහා පරිමාණ ව්‍යාපෘතිවලට අනුමැතිය දුන්නෙ මෙයාලා තමයි. මේ මහා පරිමාණ ව්‍යාපෘතිවලින් මේ රටේ ජනතාවගෙ මුදල් කොල්ල කද්දි එක්කො ඒවට උඩගෙඩි දුන්නා. නැතිනම් ඒවා ඉස්සරහ ඇස් කන් පියාගෙන බලා හිටියා. ඒ සියල්ල කරලා අද ජනතාවගෙන් දැවැන්ත විරෝධයක් එල්ල වෙනකොට වෙන පැත්තකට පැනලා අපි නම් ඕවට නෑ, කියන්න උත්සාහ කරනවා.

දැන් නෑ කියලා කිව්වට කලින් එයාලා කරපු ඒවයෙ ප්‍රතිඵල තමයි අද මේ රටේ ජනතාව විඳවන්නෙ. පාන් ගෙඩිය 300ට නැඟපු එක, තෙල් පෝලිම්, ගෑස් හිඟය, ගොවියට පොහොර ටික නැතිවීම, බඩු මිල ඉහළ යෑම ආදී මේ සියල්ලට මේ රට පාලනය කරපු මේ අය වගකිව යුතුයි. මේ රට පාලනය කරපු අයගේ පැටිකිරිය රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා අලුත් ජනතා බලයක් ගොඩනැඟීමට ජනතාව ඉදිරියට එමින් තිබියදී එය යළිත් වතාවක් පරණ සුපුරුදු තමන්ගෙ හාම්පුතුන්ටම ගැටගහන්න මේ අය උත්සාහ කරමින් සිටිනවා.

මේ අර්බුදයෙන් ගොඩ එන්නෙ කොහොමද කියලා හොයා ගත යුතුයි. ප්‍රශ්නය හරි හැටි තේරුම් ගැනීම  ප්‍රශ්නයෙන් භාගයක් විසඳුවා හා සමානයි. අපට ලෝකෙ එක පැත්තකටවත් බැඳෙන්නෙ නැති නොබැඳි ප්‍රතිපත්තියක් අවශ්‍යමයි. අලුත් පාලනයක, අලුත් ආණ්ඩුවක් හදාගන්නෙ නැතිව මේ සෙල්ලම් මොනවත් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ ආධාර දෙන්න නම් දේශපාලන ස්ථාවරත්වය හදාගන්න කියලයි. ඒ ස්ථාවරත්වය කියන්නෙ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණන නෙවෙයි.

දේශපාලන රැස්වීමක් තියාගන්න බැහැ. ඒගොල්ලන්ව මිනිස්සු විශ්වාස කරන්නෙ නැහැ. මිනිස්සු ළඟට යන්න බැහැ. ගියොත් හූ කියනවා. වැලිකඩ බන්ධනාගාරය ළඟදි මනුෂ නානායක්කාරට හූ කිව්වා. අඟුªණුකොළපැලැස්සෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම අමරවීර ඇමැතිවරයාට හූ කිව්වා. හූ කියලා එළවගන්න තැනකට වැටිලා.”

මතුගම _ වසන්ත කුමාර