පුතෙක් හදනවටත් වඩා පොතක් ගහන එක අමාරු වෙයිද?

0
76

ගිය සතියේ ලිපිය සාහිත්‍ය මාසෙ පාඨක අත්දැකීම් එක්ක බැ¾දුණක් කියලා කියවපු අය දන්නවා. ඒත් මේ පොත් මිල වැඩිවීම්, කර්මාන්ත හි තවත් මෙකී නොකී ගැහැට ගැන ලේඛක – ප්‍රකාශන පාර්ශ්ව දරන්නේ මොනවගේ මතයක්ද කියන එක විමසන්නත් අවස්ථාවක් තිබීම වැදගත්. මේ ලිපිය ඒ අඩුව පුරවාවි කියලා හිතනවා.

මේ වෙනකොට අනිත් හැම කර්මාන්තයක්ම  සිනමාව, සංචාරක, දේශීය නිෂ්පාදන කර්මාන්තත් එක්කම විශාල ආර්ථික ප්‍රශ්න ගණනාවකට මැදිවෙලා කියනක අපි දන්නවා. මේ වෙනකොට පොත් ප්‍රකාශන කර්මාන්තයෙත් තත්ත්වය ඊට වෙනස් නෑ කියලා තමයි අපිටත් දැන ගන්න ලැබුණේ නම්. කාලය කොයිවගේද කියන එක නොසලකා හැරිය නොහැකි වුණත් ඕනෙම කර්මාන්තෙකට ඊට අනන්‍ය අභියෝග එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ.

ඉතින් මේ මොහොතේ පොත් ප්‍රකාශන කර්මාන්තෙත් අභියෝගාත්මක කාලයක් තමයි ගෙවන්නේ. කර්මාන්තෙ කොයි වගේ මොහොතකද දැන් තියෙන්නේ කියන ප්‍රශ්නේ මේ ක්ෂේත්‍රයෙම අයගෙන් දැනගන්න එක වටිනවා. මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රකට ලේඛකයෙක් වගේම ප්‍රකාශන ආයතනයක අධිපතිතුමාත් වෙන කවීෂ නදුන් කග්ගොඩආරච්චි මහත්මයා සමඟ ලියුම්කාරයා විසින් සිදු කළ සංවාදයේ ඔහු දක්වපු අදහස් ටික තමයි පහතින් ගොනු කරලා තියෙන්නේ.

“කඩදාසි හා මුද්‍රණ වියදම් වැඩිවීම තමයි මේ වෙනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. සාමාන්‍යයෙන් පොත් මුද්‍රණය වෙන 70 GSM paper ream එකක ඉස්සරම මිල වුණේ රු. 3400 – 4000ක් වගේ ගාණක්. නමුත් මීට මාස 2කට විතර කලින් ඒක රු. 19,000 – 18,000ක වගේ මිලකට තමයි තිබුණේ. ඒ නිසාම මතක ඇති ඒ මාසවල පොත් මුද්‍රණය වුණේ නැති තරම්. දැන් මිල වෙන්නෙත් රු. 14000 – 15000 වගේ ගාණකට.  එහෙම වෙනකොටත් කලින් මිල වගේ 4 ගුණයක වගේ වැඩිවීමක් තියෙනවා කියලා පේනවනේ. ඒක නිසාම පොතුත් ඊට සාපේක්ෂව වැඩි මිලකට මිල නියම කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මොකද මුද්‍රණ වියදම් විතරක් පියවෙන විදිහට නෙවෙයි සාමාන්‍යයෙන් පොතක මිල තීරණය වෙන්නේ.

කලින් පිටු 500කට කිට්ටු පරිවර්තන කෘතියක් රු. 1000කට, 1200කට වගේ මිලක් දෙන්න පුළුවන් වුණත්. දැන් ඒක රු. 2000කට කිට්ටු මුදලකට තමයි මිල කරන්න වෙලා තියෙන්නේ. මොකද පරිවර්තන පොතක වගේ නම් පරිවර්තන හිමිකම් ලබා ගන්න එහෙමත් මුදලක් වෙන් කරන්න අපිට සිද්ධ වෙනවා.

පොත් පිටරටක මුද්‍රණය කරලා ලංකාවට ගෙන්වන එක ගැනත් අපි අතර සංවාදයක් ඇති වුණත් ඒක ලංකාව වගේ කුඩා පාඨක ජාලයක, ඉල්ලුම සීමිත වටපිටාවක ඒක ප්‍රායෝගිකයි කියලා කියන්න බෑ. මොකද පිටරටක එක මුද්‍රණ වාරෙක පිටපත් ලක්ෂ ගණන් මුද්‍රණය වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධම  ලේඛකයෙක්ගේ වුණත් පළමු මුද්‍රණයට ගහන්නේ පොත් 5000ක්, 6000ක් වගේ ගාණක්. අනික රට ඉඳලා මෙහෙට පොත් ගෙන්නනකොට වැදෙන Tax එකත් එක්ක මේ ක්‍රියාවලිය ලාභදායකයි කියලා කියන්න බෑ”

ඒවගෙම අප අතර වුණ කතා බහේදී රජයෙන් මේ ක්ෂේත්‍රය සඳහා සහයෝගයක් නොලැබීම, හරි හමන් විශාල විකුණුම් පොළක්, ප්‍රචාරක ක්‍රමවේදයක් නොමැතිකම, ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව පොත් හා ප්‍රකාශන නවීන පන්නට  (limited edition Hard cover special edition books) පාඨකයා අතට පහසු මිලට ලබා දෙන්න තිබෙන බාධා ගැනත් ඔහු කතා කළේ තරමක් සංවේගයෙන්. ඒ වගේම ලාංකිකයන්ට පසුගිය දෙවසර කියන්නේ  කොරෝනා වසංගතය නිසාම  සහයෝගි එකතුවීමකට ඉඩක් නොදුන්න කාලයක් නිසාත් පසුගිය දෙවසරකට පමණ පසුව තියෙන මෙවර Colombo book fair එකට  පෙරටත් වඩා පාඨකයො ඒකරාශි වේවි  කියලත් ඔහු විශ්වාස කරනවා.

 වෙළෙඳපොළ ඉල්ලුමක් නොසෑදීම හා ප්‍රචාරණයේ මදිකම, සාහිත්‍ය ඇතුළු පොතපත ප්‍රවර්ධනයට බාධාවක් කියන එක ගැන ප්‍රවීණ ලේඛක මංජුල සේනාරත්න මහතා දැක්වූ අදහසක් ඔහු සිදු කළ සංවාදයකින් උපුටා ගන්න අපිට හැකි වුණා.

“පොතක් කියන්නේ නිෂ්පාදිත භාණ්ඩයක්. එහි නිෂ්පාදකයන් වන ප්‍රකාශකයා සහ ලේඛකයා උත්සාහ කළ යුතුයි පොත අලෙවි කර ගන්න. මේ දෙදෙනාගේම ස්ථාවරය රැඳී තියෙන්නේ අලෙවිය මත. හැම ලේඛකයාම කැමැතියි තමන්ගේ පොත්වලින් මුදලක් උපයා ගන්න. සාහිත්‍යය කියන්නේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය නිසා දිවි රැක ගන්න අති විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා පොත් කියන භාණ්ඩය අලෙවි කර ගන්න වාණිජ හරඹයත් එක්ක අත්වැල් බැඳ ගන්න සිදුවීම පුදුමයට පත් විය යුතු දෙයක් නෙමෙයි.

පොත් සඳහා කෙරෙන ප්‍රචාරණය, වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රම සාහිත්‍යය නමැති ව්‍යාපාරයට ඇති වැදගත් ගැටලුව විදිහට මම දකින්නේ, ලංකාවේ පාඨකයා මේ කරුණ කෙරෙහි තවම බලන්නේ වෙනස් ඇහැකින් වීමයි. ඇතමුන් සිතනවා පොතක් වෙනුවෙන් ප්‍රචාරයක් ලබා දුන්නාම එය බාල වර්ගයේ පොතක් බවට පත් වෙනවා කියලා.  අනෙක් කාරණය තමයි පොත් අද දවසේ වාණිජකරණයට ලක් වෙලා තියෙන්නේ සමාජ ජාලවල විතරයි.”

ඉදිරියේදී මේ පිළිබඳත් සංවාදයක් ඇති වීම නගරයෙන් පොත පත ගමට ගෙනියන්න හේතු වෙයි කියලත් අපිට අපේක්‍ෂා කරන්න පුළුවන්.

මනුස්සයෙක් වුණාම ගහක් ඉන්දන එක, පොතක් ලියන එක, පුතෙක් හදනෙක කරන්නෝනෙ කියලා කොන්ෆියුසියස්තුමා කියලා තියෙනවා. නොදැනුම සඳහා පුරාණ කාලෙ තිබ්බ අධිපතිවාදය නූතනය වෙනකොට බිඳීගිය නිසාම තමන්ගේ හිතේ තනමින් තිබ්බ අදහස් පොතක් විදිහට එළියට දාගන්න හුඟක් මිනිස්සුන්ට පුළුවන් වුණා. ඒක කොළඹ අවට සමාජයේ නම් ස්ව සමාජ ප්‍රකාශනයක් මඟින් ප්‍රතිරූප ගොඩ නැඟෙන්නත් ඒක ඉවහල් වුණා.

කිසිදු වාසියක් තකන්නැතුව තමන්ගේ තෘප්තිය උදෙසාම පොත් පත් පළ කරපු මිනිස්සුත් නැතුවාම නොවෙයි. ලෝකෙ අපි දන්න ජේ.කේ. රෝලිංලා, සල්මන් රූෂ්ඩිලා වගේ වෘත්තීමය ලේඛකයො හිටියට  ලංකාවේ වගේ රටක නම් ලේඛකයෙක්ට ලිවීම පමණක්ම වෘත්තීය පැවැත්මක් කර ගන්න එක දැන් අමාරුයි. ඒ නිසා පොත් සම්බන්ධ මේ ගැටලුව ඉහත කී දෙගොල්ලොන්ටම බලපානවා.

කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය මිල ඉහළ යෑමත් එක්ක බොහෝ දෙනෙක් අනතුරු ඇඟ වූ කාරණයක් තමයි අපිට ලිඛිත – මුද්‍රිත පාඨක අවකාශයට නොබෝ දිනකින්ම සමුදෙන්න වෙයි සහ Digital Platforms වෙත කියවීම හුරු කරගන්න වෙයි කියන එක. නමුත් එය හිටි අඩියෙන්ම ගත නොහැකි පියවරක් වෙන්නේ තාමත් ඩිජිටල් අවකාශයේ කියවීම් සඳහා තියෙන්නේ 10ක වගේ ජනප්‍රියතාවක් නිසා. මේ පිළිබඳව සහ අලුත් ලේඛක ප්‍රජාව මේ මොහොතේ මුහුණ දී තිබෙන අභියෝග ගැන අප සමඟ සංවාද ගත වූ තරුණ ලේඛක රෂ්මික මණ්ඩාවල මහතාගේ අදහස වූයේ මෙවැන්නක්.

“අපි මුහුණ දීලා තියෙන දරුණු ආර්ථික අර්බුදය බොහොම ඉක්මන් ක්‍රියාමාර්ගවලින් විසඳෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ප්‍රශ්නවල දිගුවක් තමයි මේ වෙනකොට පොත් මිල ඉහළ යෑම වගේ කාරණාත්. නමුත් ඉදිරියටත් අපිට සාහිත්‍ය – කලාව ගැන කතා කරන්න අවශ්‍ය නම් මේ ගැටලුව ගැන අපි හැමෝටම අදහසක් තියෙන්න ඕනේ. අලුතින්ම ක්ෂේත්‍රයට එන ලියන්නෙක්ට නම් කොහොමත් E – book වගේ දේකින් තමන්ගේ ප්‍රකාශනය ජනප්‍රිය කර ගන්න, තමන්ගේ නම හදා ගන්න එක අමාරුයි.

ඒකට මුද්‍රිත මාධ්‍යයක් අවශ්‍යයි. ප්‍රකාශන ආයතනත් ජනප්‍රිය ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් මේ අර්බුද අස්සෙ වැඩි මිලට හරි ගැහුවත් අලුත් අයගෙ පොත් ගැන සලකා බලන්න බැරි වෙලා තියෙනවා. නමුත් නවක ලේඛකයන්ටත් කොටසක් වෙන් වෙන විධියට පොත් ප්‍රකාශනය කරන එක ප්‍රකාශන ආයතන මේ මොහොතේ කරනඕනෙ වැඩක්. ඒ පිළිබඳ ලේඛක වගේම ප්‍රකාශන ආයතන අතරත් සංවාදයක් ඇති වෙන්න ඕනෙ කියලා මම හිතනවා. ඒ වගේම සාහිත්‍යයේම උන්නතිය උදෙසා Audio Books, E – books වගේ සංකල්පවලට යොමු වීමත් ඉතා වැදගත්. ඒකට විධිමත් ක්‍රමවේදයක් නොමැතිකම මේ වෙනකොට තිබෙන ප්‍රශ්නයක්”

ඔහුගේ ප්‍රකාශය කලෙක පටන් ලේඛක – ප්‍රකාශන ආයතන නැඟු මැසිවිල්ලක් වූ අනවසරෙන් PDF ගත කළ පොත් පිළිබඳවත් සිහිපත් කළා කීවොත් නිවැරැදියි.

මිනිස්සුන්ගේ සභ්‍යත්වයේ උරුමය රැගත් සාහිත්‍ය සමාජයේ යහපත් සංස්කෘතික බලාපොරොත්තුවක් කිව්වොත් වැරදි නෑ. ඒකට පොතපත මුද්‍රිතව හෝ අමුද්‍රිතව අපට ස්පර්ශ කළ හැකි සීමාවේ තිබීම  වටිනවා. එය උන් හිටිහැටියේ අතුරුදන් කිරීම නෙවෙයි අප කළ යුත්තේ. එම නිසා මෙකී කරණා ගැන ඇති විය යුතු සංවාදයට ඉඩප්‍රස්තාව ලබා දෙමින් අප මෙතෙකින් නවතිනවා.

ස්තුතියි 

සුභාෂිත ලක්මිණ