පාසල් සිසුවියක සහ සිසුන් තිදෙනෙක් කුම්බිච්චන්කුලම වැව ළඟ අශෝභන ලෙස හැසිරිලා

0
5

අනුරාධපුර නව බස් නැවතුම්පොළ ආසන්නයේ  කුම්බිච්චන්කුලම වැව අසල බීමතින් අශෝභන ලෙස හැසිරුණු බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය හදාරන පාසල් සිසුවිය සහ සිසුන් තිදෙනාම බීමත්ව සිට ඇති බව තහවුරු කෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙන් වෙන් වශයෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තා හතර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට දඬුවම් නියම කිරීම 2023 වසරේ අප්‍රේල් මස 3 වැනි දිනට කල් තැබූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් එදිනට සැකකාර සිසුවියගේ සහ සිසුන් තිදෙනාගේ මවුපියන් අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම පාසල් සිසුවිය සහ සිසුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා  මීට පෙර නියෝග කර තිබිණි. බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරුණු බවට වන චෝදනා මෙම සැකකාර පාසල් සිසුවියට සහ සිසුන් තිදෙනාට පොලිසිය වෙන් වෙන් වශයෙන් කියවා දුන් පසුව බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරුණු බවට තමන්ට එරෙහිව පොලිසිය නඟන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව සැකකාර සිසුවිය පමණක් නීතිඥ සංජය රත්නායක මහතා මඟින් අධිකරණයට පැවැසුවාය.

බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරුණු බවට පොලිසිය තමන්ට එරෙහිව නඟන චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සෙසු සැකකාර සිසුන් තිදෙනා නීතිඥ දුලානි කවීෂා මෙනෙවිය මඟින් අධිකරණයට දැනුම් දුන්හ.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස