ප්‍රංශයට හා දකුණු අප්‍රිකාවට යන්න හදපු ඉරාන හා සෝමාලියා ජාතිකයන් කටුනායකදී මාට්ටු

0
17

කූට ලෙස සකස් කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ප්‍රංශයට සහ දකුණු අප්‍රිකාවට පැන යෑමට තැත් කළ ඉරාන සහ සෝමාලියා ජාතිකයකු කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබේ.

ඉරාන ජාතික 43 හැවිරිදි පුද්ගලයකු පෙරේදා (11දා) අලුයම 12.40ට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යෑම සඳහා ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 563 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. සෝමාලියානු ජාතික 26 හැවිරිදි පුද්ගලයා ඉකුත් 10 වැනිදා 08.40ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. – 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස්, එතැන් සිට බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඔස්සේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිට ඇත.

මොවුන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇතිවූ සැකය මත ඔවුන්ගේ ලියකියවිලි, දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත  යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී, මොවුන් ඉදිරිපත් කළ ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කළ ඒවා බවට තහවුරු විය. මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම කළ අවස්ථාවේ තමන් ඉරාන ජාතිකයකු බවත් තමන්ට එරට තුළ පවතින ජීවිත තර්ජනය හේතුවෙන් මෙසේ ප්‍රංශය වෙත පැන යෑමට පැමිණි බවත් සඳහන් කර තිබේ.

මෙම ඉරාන ජාතිකයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආසනයක් මත තබා තිබියදී සහ සෝමාලියානු ජාතිකයාගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍රය ඔහු නැවතී සිටි හෝටල් කාමරය තුළ තිබියදීත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සොයාගෙන තිබිණි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ටී.ඩබ්ලිව්.කේ.ටී. කළ්‍යාණප්‍රිය, එච්.එම්.ඩබ්ලිව්. උදය කුමාර සහ ආගමන විගමන නිලධාරීන් වන කේ.ඒ.ජේ.එල්. කුලතුංග, ඒ.ආර්. ප්‍රියන්ත යන මහත්වරුන් විසින් කර තිබිණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල