පළමු හොරකම වැරදී යකඩ හොරකමකට ගිය කුඩ්ඩා පොලිස් දැලේ

0
7

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ මාතෘ සායනය බිඳ දේපළ සොරා ගැනීමේ උත්සාහය අසාර්ථක වූ තැන හොරණ පොලිස් වසමේ අරඹකන්ද ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක් සෑදීමට ගෙනැවිත් තිබූ යකඩ කම්බි තොගයක් සොරාගත් සැකකරුවකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

29 හැවිරිදි සැකකරු හොරණ, අරඹකන්ද පදිංචි අවිවාහකයකු වන අතර, තදින් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු බව පොලිසිය පවසයි.සැකකරු විසින් පළමුව දේපළ සොරා ගැනීමේ අදහසින් බැල්ලපිටිය මාතෘ සායනයට ඇතුළුව ඇති බවත්, නමුත් ඔහු බලාපොරොත්තු වූ ආකාරයේ දේපළක් එහි නොතිබීම හේතුවෙන් එම උත්සාහය අත්හැර දමා ඇති බවත්, පසුව ඉහත යකඩ කම්බි තොගය සොරාගෙන එය අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවත් පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

රුපියල් ලක්‍ෂයකට ආසන්න වටිනාකමැති යකඩ කම්බි තොගයද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එය කොටස් වශයෙන් අලෙවි කර තිබී ඇත.

හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සී. එස්. පනාවල මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන විපුල් අබේසිරි හා තරිඳු බණ්ඩාර, සැරයන්වරුන් වන ලලිත් (35477) හා ජනක (19934), කොස්තාපල්වරුන් වන විතාන (65063), ජයසූරිය (62710), කුමාරසිරි (96978), බණ්ඩාර (94698) ඇතුළු නිලධාරීහු  වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ඉංගිරිය – එන්. පී. කහවල