නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේශය ආර්ථික කලාපයක් ලෙස  සංවර්ධනය කරනවා

0
13

කොළඹ නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේශය ආර්ථික සංවර්ධන කලාපයක් ලෙස ඉදිරි වසර තුළ සංවර්ධනය කරන බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපති ආර්.එම්.පී. රත්නායක පැවැසීය.

එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කරන බවත් එදින සවස 2න් පසු මහජනතාවට නෙළුම් කුලුන දැකබලා ගැනීමේ හැකියාව පවතින බවත් රත්නායක මහතා පැවැසීය.

එළඹෙන 15 වැනිදා ඇරඹෙන්නේ කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ප්‍රථම අදියර වන අතර තවත් අදියර දෙකක් යටතේ නෙළුම් කුලුන පරිශ්‍රය සංවර්ධනය කිරීමට නියමිත අතර එම අදියර දෙක එළඹෙන වසරේ මාර්තු වනවිට ආරම්භ කරන බවද ආර්.එම්.පී. රත්නායක මහතා කීය.

මෙම කුලුනේ සියලු මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුව විසින් අධීක්ෂණය කරන බවද මෙහි සම්පූර්ණ අයිතිය මහා භාණ්ඩාගාරය සතු වන බවද ඒ මහතා කීය.

රුපියල් 500ට සහ රුපියල් 2000 ලෙස මෙහි ටිකට්පත් මහජනතාවට මිලදී ගත හැකි අතර කුඩා ළමයින් සඳහා රුපියල් 200කට ටිකට්පත් අලෙවි කරන බවද කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම සඳහන් කළේය.

එළඹෙන 15 වැනිදා කොළඹ නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීම නිමිත්තෙන් ඒ පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 12දා පැවැති අතර එහිදී ජනමාධ්‍යවේදීන් දැනුවත් කරමින් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, එම සමාගමේ සංවර්ධන නිලධාරි බිම්සර රොසයිරෝ ඇතුළු පිරිසක් මෙහිදී ජනමාධ්‍යවේදීහු දැනුවත් කළහ.

ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය