දළුකානේ වැද්දෝ ආණ්ඩුවෙන් දුන් ගෙවල්වල උළුවහු – ජනෙල් විකුණා කුඩු ගහති

0
18

දළුකාන ආදිවාසී ගම්මානවල මත්ද්‍රව්‍යවලට ගොදුරුවූවන් තම නිවෙස්වල උළුවහු, ‍ෙදාර ජනෙල් පමණක් නොව වහලේ සෙවිලි ෂීට් පවා ගලවා විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි එහි ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා ‘මව්බිම’ට පැවැසුවාය.

නිවාස සංවර්ධන අධිකාරියෙන් දළුකාන ආදිවාසී පවුල් 54ක් සඳහා ඉදිකර දී ඇති නිවාසවල මේ තත්ත්වය පවතින බවත් එයින් සමහර නිවාස හිමිකරුවන් ඒවා පිටස්තර පිරිස්වලට විකුණා වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවද ඇය කීවාය.

2015 වසරේදී එවකට නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා විසින් දළුකාන ගම්මානයේ ආදිවාසී පවුල් පනස් හතරක් සඳහා ජීවහත්ත ගම සහ දිසාලා ගම යනුවෙන් නම් කර නිවාස පනස් හතරක් නොමිලේ ඉදිකර දුන්නේය.

ඉන් නිවාස දෙකක් සහ ඉඩමද රුපියල් ලක්ෂ 5කට සහ 8කට විකුණා ආදිවාසී පවුල් දෙකක් මඩකළපුව වඩමුන් ගම්මානයට ගොස් ඇති බවත් ඇය පැවැසුවාය. තවත් මෙලෙස අඩු මිලට නිවාස සහිත ඉඩම් හයක් විකිණීමට ආදිවාසී පවුල් සූදානම්ව සිටින බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර තම ගම්මානයේ ස්ථීර නිවාස නොමැති ආදිවාසී පවුල් සඳහා අදාළ ඉඩම් සහ නිවාස ලබාදීමට කටයුතු කරදෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

රජය අති විශාල මුදලක් යොදවා ඉදි කරන ලද එම නිවාස සහ ලබාදුන් ඉඩම විකිණීමට කිසිසේත්ම අයිතියක් නොමැති බවත්,  ඒ පිළිබඳව තමා උසස් නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් නොමැති නිසා මේ පිළිබඳ වහාම පුළුල් පරීක්ෂණයක් කර සැබෑ ආදිවාසී ජනතාවට ස්ථිර නිවාස ලබාදීමට අදාළ මැදිහත්වීම සිදුකරන ලෙසද ආදිවාසී නායිකාව ඉල්ලා සිටියාය.

රාජ්‍ය දේපොළ මෙලෙස විකිණීම පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉෆ්ෆාන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ඉඩම් විකිණීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කර අදාළ ඉඩම් ලබාගත් අයටද ඉඩම් විකුණූ­ අයටද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ස්ථීර ඉඩම් හා නිවාස නොමැති ආදිවාසී පවුල් වෙත එම නිවාස හා ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි.

මනම්පිටිය _ නිමල් ජයරත්න