දත්තයා පුටුවේ ඉන්දවා පොත්තකූට රට පාලනය කරනවා

0
413

දත්තයා රජ පුටුවේ ඉන්දවා පොත්තකූට රට පාලනය කළ පරිදි රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ ඉන්දවා බැසිල් රාජපක්‍ෂ රට පාලනය කරමින් සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (12දා) පැවැසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොහොට්ටු මන්ත්‍රිවරුන් සතුටු කිරීම හැර වෙන කිසිවක් කර ගැනීමට ඉඩක් නොමැති බවද ජයතිස්ස මහතා කීය.

ඔහු මෙසේද කීය. “ප්‍රේමලාල් ජයසේකරට ඊයේ (12දා) රාජ්‍ය ඇමැතිකමක් දීලා. මේ වෙලාවේ රාජ්‍ය ඇමැතිකම් තිස් අටක්ද කැබිනට් ඇමැතිකම් දාහතක්ද ඇතුළුව ඇමැති ධුර 55ක් දීලා තියෙනවා. ඇමැතිකම් 55ක් නඩත්තු කළ හැකි තත්ත්වයකද අද රට තිබෙන්නේ? ඒ වගේම නියෝජ්‍ය ඇමැති වරප්‍රසාද සහිතව දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ සභාපතිලා පත් කරලා තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් එකක් ගැහුවා රාජ්‍ය ඇමැතිවරුන්ට නිල වාහන හයක් දෙන්න කියලා. ඉන් වාහන තුනක් ඇමැතිට. ඊට ඩීසල්, පෙට්රල් මාසිකව ලීටර් 1500ක් ගහනවා. ඒ රජයේ සල්ලි. රුපියල් හතළිස් දාහක දුරකථන දීමනාවකුත් දෙනවා.

ඉල්ලන ඕනෑම ජංගම දුරකථනයක් කාර්යාලයට දුරකථනයක් වගේම ගෙදරටත් දුරකථනයක් දෙනවා. ඒ වගේම ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ‍ෙදාළොස් දෙනෙක් පත් කරනවා. පවුලේ ඥාතීන් ඒවට දාගන්නේ. එතකොට ඒ මණ්ඩලයේ පහකට ස්ථාවර දුරකථන දෙකක් වගේම ජංගම දුරකථනයක් දෙනවා. ඒ වගේම නිල නිවාසයක් (සියලු පහසුකම් සහිතව) දෙනවා.

දැන් රාජ්‍ය ඇමැතිවරු පැටව් ගහනවා වගේ. ගෝඨාභය එළෙව්වේ දූෂිත මැර දේශපාලනය එපා කියලා. හැබැයි අධිකරණයේ නඩු තියෙන අයට අද රාජ්‍ය ඇමැතිකම් දීලා. අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට ඇමැතිකමක් දීලා. මිනීමැරුම් චෝදනාවකට ජනාධිපති සමාව ලද ප්‍රේමලාල් ජයසේකරට ඊයේ රාජ්‍ය ඇමැතිකමක් දුන්නා.

රනිල් මේ කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිලා සතුටු කරන එක. බැසිල් ඇමරිකාවේ ගියේ රාජ්‍ය ඇමැතිකම් ලැයිස්තුව රනිල්ට දීලා. රනිල්ට ලොලිපොප් සූප්පු කරන්න ඉඩදීලා බැසිල් තමන්ට ඕන හැමදේම කරනවා. මේක හරියට මහාවංශයේ තියෙන දත්තයා රජ පුටුවේ ඉන්දලා පොත්තකූටයා රට කරනවා වගේ වැඩක්” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්