ණය වෙලා හරි ගිතෙල් කමුද?

0
81

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තිබුණු අන්තිම තුරුම්පුවය. ඒ වෙනුවෙන් පැවැති පූර්ව සැලසුම්, සාකච්ඡා, කොන්දේසි ඉටුකිරීම් ටිකෙන් ටික ක්‍රියාත්මකය. ණය ප්‍රතිව්‍යුහකරණය සම්බන්ධ සාකච්ඡාද තීරණාත්මක අවස්ථාවකය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට IMF මඟින් මාස 48ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් අනුමත කොට ඇති බව කියයි. මේ මුදල මේ රටේ සංවර්ධන කටයුතු සඳහා නොවේ. එමඟින් කළ හැකි වන්නේ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම හා රටේ සංචිත ප්‍රමාණය සංවර්ධනය කර ගැනීමය.

දැනට වාර්තා වී තිබෙන ආකාරයට මහ බැංකුවේ සංචිත වහා ගොඩනඟා ගැනීම අවශ්‍යව ඇතත් දැනට භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් තරම් වූ සුළු ප්‍රමාණයක පවතින බවද කියයි. අනෙක් වැදගත්ම කාරණය IMF ණය මුදල වුවද අපට එකවර ලැබෙන්නේ නැත. මේ ණය මුදල වාරික වශයෙන් කිසියම් කාලවකවානු නියමයක් අනුව ලැබීමට නියමිතය. මේ වෙනුවෙන් අප රටට ඉටු කිරීමට ඇති කොන්දේසිද කිහිපයකි. ණය ගැනීම දෙවැනි තැනට තබා රටේ සංවර්ධනය ගැන සිතුවත් එම කොන්දේසි වැඩි ප්‍රමාණයක් ඉටු නොකොට බැරි ඒවාය.

රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම, දූෂණය, වංචාව වළක්වාලීම සඳහා නීති අණපනත් සකසා ගැනීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම, සමාජ ආරක්‍ෂක වැඩපිළිවෙළක් හඳුන්වාදීම වැනි කාර්යදාමයක් වහා සපුරාලීම අත්‍යවශ්‍යය. තත්ත්වය මෙසේ තිබියදී වර්තමානයේ අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මේ රටේ දේශපාලන අධිකාරියේ නොසැලකිලිමත්කමින් හා අමන අඥාන තකතීරු තීරණ හේතුකොට ගෙන සිදුකොට තිබෙන මහා ධන නාස්තියක් පිළිබඳ තොරතුරුය.

‘කිසිදු ආදායමක් නැති රාජ්‍ය ආයතනවල කුලී ගෙවන්න බිලියන 330ක් වැය කරලා.’ මේ ඊයේ අප ‘මව්බිම’ පත්‍රයේ මුල්පිටුවේ පුවතකි. මේ පුවතට පාදක වූයේ 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ වසර 4ට අදාළ වූ රාජ්‍ය වියදම් හා සම්බන්ධව විගණන වාර්තාවය. කිසිදු ආදායමක් ඉපැයීමක් නැති රජයේ ආයතන සඳහා ගොඩනැඟිලි අවශ්‍යතාව සපුරා ගැනීමේදී බදු කුලී හා වරිපනම් ලෙස ආණ්ඩුව රුපියල් මිලියන 33,023ක් වැය කර තිබේ.

ගොඩනැඟිලි මිලදී ගැනීම්, ඉඩම් මිලදී ගැනීම්, ගොඩනැඟිලි ඉදිකිරීම් හා ගොඩනැඟිලි පුනරුත්ථාපනය කිරීම්, වැඩිදියුණු කිරීම් යන කටයුතු සඳහා 2016-2020 වසර 4 සඳහා මූලධන ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 720ක් වෙන්කොට ඇති බව යට කී විගණන වාර්තාව පෙන්වා දෙයි. මේ වැයකොට ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් එනම් 67%ක් තරම් ප්‍රමාණයක් නාස්තිකාර වැය කිරීම් බව පැහැදිලිය.

වාර්තාව අනුව අමාත්‍යාංශ 16කට අයත් ගොඩනැඟිලි 75ක්ම බදු පදනම යටතේ ලබාගෙන තිබේ. ගොඩනැඟිලි 59ක මාසික කුලිය ගැන තොරතුරු නිශ්චිත නොවූ බව වාර්තාවේ සඳහන්ය. රාජ්‍ය ආයතන 137ක ගොඩනැඟිලි පිළිබඳ තොරතුරු නිසි පරිදි පවත්වාගෙන ගොස් නොතිබීම ගැටලුවකි. මෙබඳු නොසැලකිලිකම් පිටුපස ඇත්තේ කුමක්ද? ගසාකෑම්, වංචා, දූෂණ, අසාධාරණකම්, යටිමඩි ගැසීම් මිස වෙන මොනවාද? මේ රට ඉතිහාසයේ කිසි කලෙකත් නොවූවිරූ තරමට ආර්ථික අගාධයේ යටිපතුලට ඇද වැටෙන්නට මඟ සැලසුවේ මේ කියන නාස්තිකාර ක්‍රියාදාමය මිසක අන් කුමක්ද?

දැන් මේ රටට ලැබෙන්නට නියමිතව තිබෙන මූල්‍ය ණය ආධාරයෙහි ප්‍රමාණය ගැන විමසා බලන විට පසුගිය වසර කිහිපය තුළ නැති නාස්ති කොට තිබෙන ධන සම්භාරය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනවා මිසක අඩුවක් නම් නොපෙනෙයි. කිසිදු ආදායමක් නොලද ගොඩනැඟිලි කිහිපයක් වෙනුවෙන් වැය කොට ඇති මුදල පමණක් ගණන් බැලූ විට අපට ලැබෙන්නට යන මුදලින් තුනෙන් එකක් තරම්ය. අප සිරවී සිටින ණය උගුලේ සීමා මායිම් ගැන අමුතුවෙන් සිතා බලන්නට අවශ්‍ය නැත. මේ රටේ සමස්ත ජනතාවම මහා ණය අගාධයක ගිලී මිරිකී චප්ප වී සිටිති.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හමුවී කියා සිටියේ “අපට දැන් සෙල්ලම් කර කර ඉන්නට කාලයක් නැති බවය. එළඹෙන අති දුෂ්කර තත්ත්වයෙන් ගැලවී සිටීම ලෙහෙසි නැති බවය.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගී පදයක් සිහිපත් කරමින් අප පසුකර ලෝකය දිවයද්දී අප තවමත් එක තැන කැරකෙන්නේ සිටිනවා කියා කීවේද මේ කතන්දරයමය. කවුරු කවුරුත් රටේ තත්ත්වය ගැන හොඳින් දැන සිටින බව පෙනෙන්නට තිබුණත් කළ යුත්තේ කුමක්දැයි ඒ කාටවත් තවමත් හරිහැටි අවබෝධ වී නොමැති බවක් හැඟෙයි.

ජාත්‍යන්තර සංවර්ධන සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙහිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ රට ආර්ථික අගාධයට වැටෙන්නට බලපෑ හේතු සාධක කිහිපයක් ගැන කරුණු හෙළි කළාය. අධික ණය බර, වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය හා සම්බන්ධ තහංචි ඊට බලපෑ ආසන්නම හේතු බව ඇය පැහැදිලි කළාය. මේ රටේ රාජ්‍ය ආයතන කිහිපයක ගොඩනැඟිලි වෙනුවෙන් නිකරුණේ වැය කළ කෝටි ගණන් මුදල් ගැන ඇයට ඒ මොහොතේ අවබෝධයක් නොතිබෙන්නට ඇත. ඒ පිළිබඳ ඇය දැන හිටියා නම් අෑ සඳහන් කළ හේතු සාධක අතරට මේ කියන නාස්තිකාර වියහියදම් ද එකතු වෙනවා ඇත.

පසුගිය කාලය පුරාම ආණ්ඩුව අත දිගහැර විය පැහැදම් කොට නැති නාස්තිකොට තිබෙන්නේ රටේ සංවර්ධනය උදෙසා වැය කළ යුතුව තිබුණු මුදල්ය. රජයේ ආදායම් තත්ත්වය දිගින් දිගටම බිඳ වැටෙන ලකුණු පෙනි පෙනී තිබියදීත් බලයේ සිටි උදවියගෙන් වැඩි පිරිසක් කළේ බුද්ධකාලීන සමාජයේ ෂට්ශාස්තෘවරුන් අතරේ සිටි අජිත කේශකම්බලීලාගේ වැඩය. “ඍණංකත්වා ඍතං ජිබේන්” යනුවෙන් සඳහන් කළ පරිදි ඔහු කීවේ ණය වෙලා හරි පුළුවන් තරම් ගිතෙල් කාපල්ලා කියාය.

කැබිනෙට්ටුවේ ඇමැතිවරුන් රොත්තක්ම පත් කොට තිබියදී රාජ්‍ය අමාත්‍යවරුන්ද තිස් ගණනක්ම පත්කොට අවශ්‍ය පහසුකම් සපයන වැඩපිළිවෙළක්ද දැන් දැන් සැලසුම් කරන හැටි පෙනේ. ඔවුන් හැම දෙනාටම කාර්යාල පහසුකම් අවශ්‍ය වනු ඇත. ආණ්ඩුව දැන් කරන්නට හදන්නේ ආයෙත් නාස්තිකාර පුත්‍රයන්ගේ කටයුතුමද. ඒ ගැන අපට දැන්ම අනාවැකි කියන්නට පුළුවන්කමක් නැත. රට මුහුණදී සිටින ගැටලු කන්දරාව ගැන නැවත නැවත සිතා බලන්නට දැනටමත් කල් පසුවී වැඩි බව කිව යුතුමය.