ටෙලිෆෝන් බිල් නැඟීමෙන් ඔන්ලයින් ඉගෙනීමත් හබක්

0
35

විදුලි සන්දේශ ගාස්තු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයද කඩාවැටීමට ලක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය. දුරකථන ගාස්තු එළැඹෙන මාසයේ සිට ඉතා අසාධාරණ ලෙස ඉහළ නැංවීමෙන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන දරුවන් මෙන්ම ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ද දැඩි දුෂ්කරතාවට පත් වන බව ඔහු කීය.

රජයේ එම තීරණයත් සමඟ දුරකථන බිල්පත් මෙන්ම අන්තර්ජාල ගාස්තුද දරාගත නොහැකි ලෙස ඉහළ යන බවටද හෙතෙම චෝදනා කළේය.

මින් පෙර පාසල් දරුවන් අතර පැවැතියේ 35%ක පමණ පරිගණක සාක්ෂරතාවක් වුවත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළ පසු එම ප්‍රතිශතය ඉහළ ගිය බවද ඔහු සඳහන් කළේය.

එවන් පසුබිමක් තිබියදී මේ අයුරින් දුරකථන හා අන්තර්ජාල ගාස්තු ඉහළ නැංවීම නිසා දරුවන් මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් බැහැර වීමේ අවදානමක්ද මතු වන බව ජෝසප් ස්ටාලින් පැවැසීය.

ජංගම දුරකථන, විද්‍යුත් උපාංගවල මිලද සාපේක්ෂව ඉහළ ගොස් ඇති නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වන්නේ යැයිද හෙතෙම කීය.

වත්මන් රජය ඔවුන්ගේ පැවැත්ම මිස වෙනත් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරන නිසා මේ අයුරින් වගකීම් විරහිත අයුරින් කටයුතු කරන්නේ යැයි ඔහු චෝදනා කළේය.

පාසල් බස්රථ, වෑන් රථ ආදී ප්‍රවාහන ගාස්තු, සපත්තු කුට්ටම්, පොත් පත් ආදී ලිපි ද්‍රව්‍ය ගාස්තුද දෙතුන් ගුණයක මිලකින් ඉහළ ගොස් ඇතැයිද ජෝසප් ස්ටාලින් කීය.

සවනි ශේශාධි