ජීවිතයේ ආතතිය දුරලන සරල සාමාන්‍ය සතුටු සමීකරණය

0
85

“ඔබ දන්නවද සතුට හොයාගන්නේ කොහොමද කියලා. මට කියලා දෙන්න?” දිනක් මා වෙත පැමිණි පුද්ගලයෙක් විමසා සිටියා. ඔහු දිගු කලක් පුරා විශාල මානසික පීඩනයකින් පෙළෙන බවත් සතුට යනු කුමක්දැයි නොදන්නා බවත් තවදුරටත් මා සමඟ පැවැසුවා. ඇත්ත වශයෙන්ම අප සියල්ලෝම සතුට අත්විඳිනවාද?

වර්තමාන  තරගකාරී ජීවන රටාවල  අප අත්විඳින විවිධ ප්‍රශ්න, ගැටලු සහ මානසික පීඩනය සමඟ අපට අපේ ජීවිතවල සතුට සොයා ගැනීම  ඉතා අසීරු දෙයක් බවට පත්ව තිබෙනවා. එහෙත් අප අත්විඳින මානසික පීඩනය සමනය කරගැනීම උදෙසා  සතුට අපට නැතිවම බැරි දෙයක්. මිනිසුන් වන අප නිරන්තරයෙන්ම සතුට සොයා යන ජීවීන් කොටසක්. හොඳ රැකියාවක්, හොඳ මිතුරු මිතුරියන්, මුදල් ඉපැයීම, ලස්සන නිවෙසක්, ආදරය ලැබීම හා සුන්දර රූපයක් ලබා ගැනීම වැනි බොහෝ දේ තුළින් සතුට සොයා ගැනීමට අප උත්සාහ කරනවා.

එහෙත් මෙසේ අප සොයා ගන්නා සතුට හැම විටම අප ළඟ තබා ගැනීම පහසු කාර්යයක් වන්නේ නෑ. අපට විවිධ අවස්ථාවලදී විවිධ ගැටලු පැනනඟිනවා. මෙසේ දිගින් දිගටම විවිධ ගැටලු සහ මානසික පීඩනයට ලක් වීම අපගේ යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යයට තර්ජනයක් බව සියල්ලෝම දන්නා පොදු කරුණක්. පහත සඳහන් සරල ක්‍රම අනුගමනය කිරීම තුළින් ඔබට එදිනෙදා ජීවිතයේ මානසික පීඩනය අවම කොට සතුට නිර්මාණය කර ගැනීමට හැකියාව ලබාගත හැකියි.

සංගීතයට සවන් දෙන්න-Listen good music

සංගීතය දිව්‍යමය ඔෟෂධයක් බවට පුරාණ කියමනක් තිබෙනවා. උසස් ගණයේ සංගීත ඛණ්ඩ සහ සවනට මිහිරි, ඝෝෂාකාරී සහ වේග රිද්ම නොවන සංගීතයට නිතර සවන් දීම තුළින් ඔබේ මනස සන්සුන් වන බවත් මොළයේ රසායනික විපර්යාසයන් සිදු වන බවත් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. එමෙන්ම සංගීතයට සවන් දීම තුළින්  ඔබේ ශරීරයේ කෝටිසෝල් මට්ටම පහළ හෙළන බවත්, එමඟින් පීඩනය අවම කරන බවත් ඔවුන් තවදුරටත්  සොයාගෙන තිබෙනවා. වර්තමානයේදී සංගීතය රෝග නිවාරණ චිකිත්සක ක්‍රමයක් ලෙස පවා භාවිත වන අතර එය වේදනාව නැසීමේ ඔෟෂධයක් ලෙසද දක්වන්න පුළුවන්. එබැවින් හැකි හැමවිටම ලස්සන ගීත ඛණ්ඩයන්ට සවන් දෙන්න. මිහිරි නාද රටාවන් රස විඳින්න.

සතුට තෝරාගන්න-Choose

ඔබ උදෑසන අවදි වන විට පළමුව සිතන්නේ  කුමක් පිළිබඳවද?  බොහෝ විට ඔබට ඇති ප්‍රශ්න, ඔබේ වේදනා සහ නිම නොකරන ලද ඔබේ වැඩ පිළිබඳව විය හැකියි. එහෙත් ඔබ අවදි වන විටම සතුට පිළිබඳව අවධානය යොමු කරන්න. සතුට ළඟා කර ගැනීමට අද දිනය තුළ ඔබට කළ හැක්කේ මොනවාදැයි සිතා බලන්න. ඔබ සතුටට පත් වන්නේ කුමන ක්‍රියාවන් සිදු කිරීම තුළින්ද යන්න බොහෝ දෙනෙක් දන්නා නමුදු ඒවායේ නිරතවීමට බොහෝ දෙනා පෙලඹෙන්නේ නැහැ. එහෙත් අද දිනය තුළ ඔබට වඩාත් සතුටු විය හැකි දේ  පිළිබඳව අත්හදා බැලීමට කිසිවිටෙකත් පසුබට නොවන්න.

හැකිතරම් සිනාසෙන්න – Laugh

“සිනහව යනු හොඳම ඔෟෂධයයි” යන කියමන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. සිනහව ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ දමනවා. ඔබට දීර්ඝායුෂ ලබා දෙනවා. එබැවින් හැකිතාත් විහිළු තහළු කරන්න. ඒවාට සවන් දෙන්න. හඬනඟා සිනාසෙන්න. ඔබ නොදැනීම සතුට ඔබ කරා පැමිණෙනු නිසැකයි.

යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගෙනයෑම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. කෙදිනක හෝ ඔබේ සියලු ප්‍රශ්න හා ගැටලු විසඳා සතුට සොයා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඒ කිසිදාක සිදු වන්නක් නොවෙයි. එනිසා ඔබ එදිනෙදා ජීවිතය තුළ සතුට අත්විඳිය හැකි ක්‍රමවේදයන් සොයා ගත යුතු වෙනවා.

යහපත් ක්‍රියාවන්හි නියැළෙන්න-Do good things

අන්‍යයන් වෙනුවෙන් යහපත් දේ කරන මිනිසුන් වඩා සතුටින් ජීවත් වන බව පර්යේෂණයන් තුළින් සොයාගෙන තිබෙනවා. එය ඔබට ඔබ පිළිබඳව වටිනාකමක් ලබා දෙනවා. හැකි හැම විටම අන්‍යයන්ට උපකාර කරන්න. හැකි හැම විටම  ඔබට හමුවන පුද්ගලයන්ට  සිනහවකින් හෝ සංග්‍රහ කරන්න. ඔවුන් ඔබ වෙත පෙරළා සිනාවකින් සංග්‍රහ කරන විට ඔබට විශාල සතුටක් දැනෙන්නට පුළුවන්. එමෙන්ම ඔබ අන්‍යයන්ට උපකාර කරන විට එය ඔබේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට මහත් සේ උපකාර වන්නට පුළුවන්.

භාවනාවක නිරත වෙන්න-Meditate

භාවනාව ඔබේ මනස සුවපත් කරන තවත් එක් ඔෟෂධයක්. එය ඔබේ මානසික පීඩනය අවම කිරීමට උපකාරී වෙනවා. ඔබට පහසු සරල භාවනා ක්‍රමයක නිරතවීමට දවසේ පහසු වේලාවක් තෝරාගන්න. දිනපතා සුළු වේලාවක් හෝ භාවනාවක නිරත වීම තුළින් මනස සන්සුන් වීමට  සහ සතුට ගෙන දීමට සමත් වන බව පර්යේෂණවලින් පවා සොයාගෙන තිබෙනවා.

කෘතවේදී වෙන්න – Gratitude

ඔබ වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත ඇතැම්විට ඔබට වඩා ඉහළ මට්ටමේ පවතින්නට පුළුවන්. ඇතැම් විට ඔබට වඩා ආර්ථික මට්ටමකින් හෝ වෙනත් යම් ලෙසකින් හෝ පහළ තත්ත්වයක සිටින්නටත් පුළුවන්. කිසි විටෙකත් ඒ කිසිවකු හා ඔබේ ජීවිතය සැසඳීමට උත්සාහ නොකරන්න. ඔබට ලැබී ඇති දෙයට සෑම විටම ස්තුතිවන්ත වෙන්න. ඒ පිළිබඳ සතුටු වෙන්න. ඔබට තවත් කළ හැකි දේ පිළිබඳව සොයා බලන්න. ඔබේ ජීවිතයට නිසි ඉලක්කයක් තබාගන්න.

ඉහත සඳහන් කරුණු අනුගමනය කිරීමට උත්සාහ කිරීම තුළින් ඔබේ ජීවිතයට සතුට ළඟා කරගත හැකියි. එසේ නොවන අවස්ථාවක  මනෝවිද්‍යා  උපදේශන වෘත්තිකයකුගේ සහාය ලබා ගැනීමට පසුබට නොවන්න.