ගුරුවරියකගෙන් ලක්ෂ විසිඅටක් වංචා කළ දෙදරු පියා රිමාන්ඩ්

0
11

ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දු වී ඇයගෙන් රුපියල් විසිඅටලක්ෂ හැත්තෑහතර දහස් හයසියහැටනවයක් වංචා සහගත ලෙස ලබාගත් දෙදරු පියකු සැප්තැම්බර් 15 වැනි දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස බිබිල මහෙස්ත්‍රාත් මහේශානී අමුණුගම මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ පෞද්ගලික රක්ෂණ සමාගමක සේවය කරන බණ්ඩාරවෙල ලියන්ගහවෙල පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු බිබිල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී වරින් වර රුපියල් විසිඅටලක්ෂ හැත්තෑ හතර දහස් හයසියහැටනවයක් වංචා සහගත ලෙස ලබාගෙන තිබේ. එම මුදලින් ඔහු නවීන මෝටර් රථයක්ද මිලදී ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සහ මිලදී ගත් කාරය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. විල්ෆ්‍රඩ් සිල්වා මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිබිල _ නඳුන් ගුණතිලක