ගම සමඟ පිළිසඳර වැඩවලට වියදම් කරල තියෙන්නෙ කෝටි පහයි

0
12

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යය දැක්ම’ රාජ්‍ය  ප්‍රතිපත්තියේ ගම සමඟ පිළිසඳර වැඩසටහ‍න් ව්‍යාපෘතිවලට පසුගිය වසර දෙක සඳහා වැය කර ඇත්තේ රුපියල් කෝටි 5ක් පමණක් බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුකරණය ආරම්භ කරන ලද 2019 වසරේ සිට ධුරයෙන් ඉල්ලා අස්වීම දක්වා කාලය පුරාවට සිදුකරන ලද සම්පූර්ණ ව්‍යාපෘති 14 සඳහා මේ මුදල් වැයකර ඇත.

ඒවායෙන් ව්‍යාපෘති 10ක් ලෙස යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රීඩාපිටි හා ක්‍රීඩාගාර ප්‍රතිසංස්කරණය කර ඇති අතර ඊට වැය කර ඇත්තේ රුපියල් ලක්ෂ 32ක මුදලක් බවත් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේය. 

‘මව්බිම’ තොරතුරු දැනගැනීමේ පනත හරහා අයැදුම් කළ තොරතුරු මඟින් මේ බව අනාවරණය විය.  ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට වැය කරන ලද මුදල සඳහා වෙනම වැය විෂයක් යටතේ ප්‍රතිපාදන වෙන් කර නොතිබුණු බවත් ජනාධිපතිවරයාගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වන වැය විෂය යටතේ මේ මුදල් ලබාගෙන ඇති බවත් ජනාධිපති ජේ‍යෂ්ඨ සහකාර ලේකම් එස්.කේ. හේනාධීර පැවැසීය.  මේ වැඩසටහන යටතේ වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ හෙට්ටිපොළ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය ස්ථාපිත කිරීම සඳහා වන අතර ඒ රුපියල් 74,000,000.00ක් බවත් අඩුම මුදලක් වැය කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රදේශයේ ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය සඳහා වන අතර ඒ රුපියල් 29,120.00ක මුදලක් බවත් ඔහු සඳහන් කළේය.

මිතුන් ජයවර්ධන