කොම්පියුටර් ජිල්මාට් එකකින් වකුගඩු-පිළිකා රෝගීන්ගේ මිලියන ගණනකට විදලා

0
67

පිළිකා සහ වකුගඩු රෝගීන් විසින් ඔවුන්ගේ සැත්කම් සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙසට පළකරන විවිධ දැන්වීම්වල සඳහන් ජංගම දුරකථනවලට සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් වංචා සහගත ලෙස ලබාගත් විසිපස් හැවිරිදි මෘදුකාංග ශිල්පියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන  ඒකකය මඟින් ඊයේ (12දා) අත්අඩංගුවට ගත්තේය. මොහු සිංගප්පූරුවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරු පාඨමාලාවක් හදාරා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

සැකකරු මේ වනවිට රුපියල් මිලියන 10ක පමණ මුදලක් මෙලෙස තම ගිණුමට බැර කරගෙන ඇති අතර අහිංසක රෝගීන්ගේ තවත් විශාල ප්‍රමාණයක ගිණුම්වලින් මොහු මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බවත් එම දෙපාර්තමේන්තු නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වනවිට මෙලෙස ගිණුම්වලින් මුදල් ලබාගත් බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 7ක් ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පිළිකා සහ වකුගඩු රෝගීන් තම රෝගී තත්ත්වය ප්‍රකාශ කරමින් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා පුවත්පත්වල සහ සමාජ මාධ්‍යවල පළ කරන දැන්වීම්වල සඳහන් දුරකථන අංක සහ සම්බන්ධවෙමින් ඔවුනගේ ගිණුමකට රුපියල් ලක්ෂයක් තමා විසින් දමන බව ප්‍රකාශ කොට රෝගීන්ගේ බැංකු ගිණුම් අංකය සහ (OTP) කේත අංකය මොහු ලබාගෙන ඇත.

පසුව අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ස්ථාපිත කරගනිමින් සංකේත අංකයක් ඔස්සේ රෝගීන්ගේ ගිණුම්වලට බැරවෙන මුදල් මොහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව රහස් පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි මත සැකකරු ගැන අවධානයෙන් පසු වෙද්දී සැකකරු ලොජ් එකක නතරව සිටියදී වේල්ලවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුව ලැබුණු බුද්ධි තොරතුරු මත සැකකරු හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු රහස් පොලිසියේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ගෙනවිත් ප්‍රශ්න කරද්දී මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති සැකකරු  ඒ ඔස්සේ තවත් අපරාධවල නිරත වී ඇත්දැයි සෙවීමට දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරේ.

වකුගඩු සහ පිළිකා රෝගියකු ලෙස ඔබත් වංචාවලට හසු වී ඇත්නම් වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසද ඉල්ලීමක් කෙරේ. සැකකරු විසින් මෙලෙස මුදල් වංචා කරගැනීමට යොදාගත් ගිණුම් අංක, සිම් පත් සහ බැංකු පොත් රැසක්ද මේ වනවිට නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සිරි මහතාගේ මෙහෙයවීමෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර දයාශ්‍රි ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක නිශාන්ත, සැරයන්වරුන් වූ කුමාර (64160), අරුණ ශාන්ත (18513), කොස්තාපල්වරුන් වන සංජීව (93399), විරංග බණ්ඩාර (68813) සහ මහේෂ් චන්ද්‍රකුමාර (71191) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්