කූරුණෑගල අනාරක්‍ෂිත කාණු ගැන නගරාධිපතිගෙන් කැකිල්ලේ කතාවක්

0
15

කුරුණෑගල නගරයේ රථවාහන කමිටුව මේ මාර්ගයත් එක්ක නම් කළ මාර්ගවල එක දිසාවකට රථවාහන ධාවනය කිරීමට ගත්ත තීන්දුව ක්‍රියාත්මක වුණා නම් මේ අවාසනාවන්ත මරණය සිදු නොවන බවට තමන් විශ්වාස කරන බවත් රථවාහන කමිටුවේ සභාපති වුණාට පොලිසියේ රාජකාරි තමන්ට කළ නොහැකි බවත් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ අවධාරණය කළේය.

පසුගිය 5 වැනිදා මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9 ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලැබූ වැහැර පදිංචි සජිත සහන් ගුණරත්න සිසුවා මිය ගියේ එදින පැවැති අධික වර්ෂාව නිසා මහ නගර සභාවට අයත් මාර්ග පද්ධතියේ අඩුපාඩු නිසා බවට ප්‍රදේශවාසීන් නගර සභාවට නඟන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට නගරාධිපතිවරයා එසේ කීය. තවදුරටත් අදහස් දැක්වූ නගරාධිපති මෙසේද පැවැසීය.

“මේ මාර්ගය පටු මාර්ගයක්. වර්ෂාවට විශාල ජල කඳක් පහළට ගලාගෙන එනවා. මේ ප්‍රදේශයේ වසර ගණනාවකට කලින් කුඹුරු ගොඩකරලා ජලය බැස ගිය ජල මාර්ග අවහිර කරලා නිවාස හදාගෙන මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. කුඹුරු, කුඹුරු ලෙසට තිබුණා නම් මේ ලෙස ජලය වේගයෙන් ගලාගෙන එක තැනකට එන්නේ නෑ. මම නගරාධිපති ලෙස කාටවත් චෝදනා කරන්නේ නෑ. මට කාටවත් චෝදනා කරන්නත් බෑ. මම මේ ප්‍රදේශයේ සියලුම මාර්ග පද්ධතිය කාපට් කළා. මේ මාර්ගවල කානු පද්ධතිය නඩත්තු කරන්න නගර සභාවට ප්‍රතිපාදන නෑ.

මේ දරුවාට අනතුර වූ ස්ථානයේ ආරක්ෂිත ඉදිකිරීම් ආරම්භ කළා. මේ ස්ථානය විතරක් නෙවෙයි නාගරික බලප්‍රදේශයේ විශේෂයෙන් නගරයේ පාසල් ආශ්‍රිතව අනාරක්ෂිත ස්ථාන දහයක් හඳුනාගෙන ඒවා ආරක්ෂිත ස්ථාන කිරීමට විශේෂ කමිටුවක් පත් කළා. පොලිසිය, කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස්, ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, නාගරික අධිකාරිය මේ විශේෂ කමිටුවට ඇතුළත්. කමිටුව මඟින් වට්ස්ඇප් කණ්ඩායම් හදලා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කුරුණෑගල නගරයේ ඉදිරියට ක්‍රියාත්මක වෙනවා.

ඉකුත් 2020 වර්ෂයේ දහවැනි මාසයේ නාගරික රථවාහන කමිටුවේ තීරණයක් ගත්තා වැහැර බණ්ඩාරනායක විද්‍යාලයට යන මාර්ගය, සූරතිස්ස මාවත, කච්චේරිය මාවත, කුමාරතුංග මාවත, බුලත් මුඩුක්කුවට යන මාර්ග එක දිසාවකට රථවාහන ධාවනය කරන්න. රෝහල ළඟින් පිවිසෙන මාර්ගයේ පැමිණි බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන් අරගෙන ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට කොළඹ මාර්ගයෙන් එළියට එන්න තීන්දුවක් ගත්තා. මම රථවාහන කමිටුවේ සභාපති ලෙස අදාළ නිලධාරීන් සමඟ ප්‍රතිපත්ති, සැලසුම් කරනවා. ඒත් පොලිස් රථවාහන අංශයේ රාජකාරිය නගරාධිපතිට කරන්න බෑ. ඒක රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ වගකීමක්.

මේ මාර්ගය වන්වේ කරලා පාසල් ඇරෙන වෙලාවේ පොලිස් නිලධාරීන් යොදවලා තිබුණා නම් මේ දරුවා අදත් ජීවත් වෙනවා. වන්වේ කරන්න යෝජනා කළේ පොලිසියෙන්මයි. නමුත් ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ නෑ. මම පොලිසියට ඇඟිල්ල දික් කරනවා නෙවෙයි. පොලිස් නිලධාරීන්ගේ අඩුවක් තිබෙනවා. මම ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිට වාර්තාවක් යැව්වා මින් ඉදිරියටවත් මේ වගේ අවසනාවන්ත සිදුවීමක් නොවන්න පොලිසියේ ආරක්ෂාව සපයන්න කියලා. දරුවගේ මරණය සම්බන්ධයෙන් මා සැබැවින්ම කම්පා වෙනවා.”   

කුරුණෑගල _ රවිඳු සූරියබණ්ඩාර