ඇළකට වැටී පුතා මියගිය දුකට තාත්තා දිවි නසාගෙන

0
9

පනස්පස් හැවිරිදි පුතා ඇළකට වැටී මරණයට පත්වීමේ පුවත අසා ශෝකයට පත්ව ඔහුගේ අසූහතර හැවිරිදි පියාද ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. උඩ පේරාදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ඇද වැටී මෙසේ මියගොස් ඇත්තේ සුප්පයියා මුතුබණ්ඩා (55) නමැති අය බවත් එම මරණය අසා ශෝකයට පත්ව එදිනම ඔහුගේ පියා වන අරුණාචලම් සුප්පයියා (84) නමැති අයද නිවෙසේදී ගෙල වැලලාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මියගිය සුප්පයියා මුතුබණ්ඩා නමැති අය අවිවාහකයකු වන අතර ඔහු සිය සහෝදරියගේ නිවෙසේ නවාතැන් ගෙන සිට ඇත. පසුගිය 08 වැනිදා රාත්‍රියේ තම සහෝදරයාගේ බිරියට කතා කර සහෝදරියගේ නිවෙසට යන බව මුතුබණ්ඩා ප්‍රකාශ කර තිබේ. තම සහෝදරයා නිවෙසට නොපැමිණීම නිසා පසුදින ගමේ ස්ථාන කිහිපයක සොයා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බව විමලාවතී පොලිසියට පවසා තිබේ.

සහෝදරයා පිළිබඳ දෙවැනි දිනටත් තොරතුරක් නොමැති නිසා ගම්වාසීන් යළි ගම අවට සෝදිසි කළ අවස්ථාවේ ඇළ මාර්ගයේ වැටී මියගොස් සිටියදී මුතුබණ්ඩාගේ සිරුර පෙරේදා (11දා) සොයාගෙන ඇත.

මෙම සිද්ධිය දැනගත් පියා ද එදිනම නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මළසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය එන්. කුලතුංග මහතා විසින්ද මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා විසින්ද පවත්වනු ලැබීය.

මහනුවර – කේ.එල්. සුරවීර