ආසියානු ශූරයන් සහ ශූරියන් පිළිගැනීමට එක් රොක් වෙමු

0
23

ආසියානු ශූරයන් වූ ශ්‍රී  ලංකා දැල්පන්දු කණ්ඩායම හා ක්‍රිකට් කණ්ඩායම මහත් හරසරින් යුතුව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී  ලංකා දැල්පන්දු සම්මේලනය සහ ජාතික ක්‍රිකට් හා දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගම කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවෘත ඩබල් ඩෙකර් බස්රථ දෙකකින් කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය ඔස්සේ රථ පෙරහරකින් කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය වෙතත් කොළඹ 7 ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි නෙට්බෝල් සංගම් මූලස්ථානය වෙතත් මහත් හරසරින් යුතුව ගෙනයාමට නියමිතය. ජයග්‍රාහී දැල්පන්දු සහ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් රැගත් රථ පෙරහර හෙට පෙ.ව. 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත්ව පෙ.ව. 9.00 වන විට කොළඹට ලඟා වීමට නියමිතව ඇත.

රථ පෙළපාළියේ ගමන් මාර්ගය මෙසේය-

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ පෑලියගොඩ මංසන්ධිය, මරදාන මංසන්ධිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර, නිදහස් මාවත, ටොරිංටන් චතුරශ්‍රය (දැල්පන්දු මූලස්ථානය), මේට්ලන්ඩ් පෙදෙස (ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය).

මෙරට සුවහසක් දැල්පන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලී රසික රසිකාවියන් හා ප්‍රේක්ෂකයන්ට ඉහත සඳහන් කළ ගමන් මාර්ගය ඔස්සේ ජාතික ධජය ද සමඟ මග දෙපසට රොක්ව අපේ ආසියානු ශූරයන්ට සුබ පැතුම් එක් කරන්නට අත්වැල් බැඳගන්නා මෙන් විවෘත ඇරයුමක් කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ ආසියානු කුසලාන අවසන් මහා තරගය පාකිස්තාන පිලට එරෙහිව විශිෂ්ඨ ලෙස ජයගනිමින් ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ඉතිහාසයෛ් තම 6 වැනි ජයග්‍රහණය සනිටුහන් කරද්දී ජාතික දැල්පන්දු කණ්ඩායම ද සිංගප්පූරුවේ පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63-53ක් ලෙස පරාජයට පත් කරමින් එම තරගාවලි ඉතිහාසයේ තම 6 වැනි ජයග්‍රහණය වාර්තා කිරීම දෛවෝපගත සිදුවීමකි. ඩයලොග් ආසියාටා සමාගම ජාතික ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.