අයියණ්ඩිය මියගිය දුකෙන් නැඟණියගෙත් හදවත නතර වෙයි

0
9

කළුතර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකුගේ මරණයෙන් කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය මියගොස් දියණිය, පුතා ඇතුළු සිවුදෙනකු රෝහල්ගත කර ඇති පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෞද්ගලික ආයතනයක සේවය කළ කළුතර, නාගොඩ, බෝපිටියවත්ත, 3 වැනි පටුමඟේ පදිංචිව සිටි අගම්පොඩි අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියකු පපුවේ අමාරුවකින් ඉකුත් 10දා මියගොස් ඇති අතර පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටි ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංගගේ දියණිය, පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මියගොස් ඇති රංගී දුලංජනී සිල්වා යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12දා) පස්වරුවේ කළුතර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) මූලික පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය – සුමිත් රණවක