අම්මා බේරාගන්න තාත්තාට පිහියෙන් ඇන මැරූ 17 පුතා රිමාන්ඩ්

0
9

“තාත්ත මට ගහනවා බේරගන්න” කියා අම්මා විලාප දෙද්දී අම්මා බේරගන්න ගිය පුතා, අම්මා බේරගැනීමට තාත්තාට පිහියෙන් ඇනීම නිසා පියා ඝාතනයට ලක්ව ඇත. පියාගේ ඝාතනයට සැකපිට 17 හැවිරිදි පුතකු උෟරුබොක්ක පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (11දා) දින ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය.  

පැමිණිල්ල වෙනුවෙන් උෟරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පතිරත්න, සැරයන් ප්‍රේමරත්න (56012), කොස්තාපල් ධනුෂ්ක (78230) යන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ. උෟරුබොක්ක

හැදිඅළුව පාර නිවෙසක පුද්ගලයකු වැටී සිටින බවට ඉකුත් 08 දින රාත්‍රි 119 පොලිස් හදිසි ඇමැතුම් මධස්ථානයෙන් ලද දුරකථන ඇමැතුමට අනුව නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු නිවෙසේ කාමරයක පුටුවක් මත ලේ පෙරාගෙන වැටී සිටින අයුරු දැක ඇත. එම අවස්ථාවේ සුවසැරිය ගිලන් රථයට දැනුම් දී තුවාලකරු උෟරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට රැගෙන යෑම සඳහා කටයුතු කළද තුවාලකරු රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පවුල් ආරවුලක් මත 17 හැවිරිදි වැඩිමහල් පුතා විසින් තාත්තාට පිහියෙන් ඇන ඇති බවට අනාවරණය වූ බවත් පුතාගේ පිහි පහරින් ඝාතනය වූයේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 4 වැනි බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස පනාගොඩ යුද හමුදා බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි උෟරුබොක්ක, හැදිඅළුව පාර, පරණවත්ත, 138/1 ලිපිනයේ පදිංචි මතිස් ආරච්චිලාගේ ප්‍රියනන්ද කුමාර (39) යන දෙදරු පියා බවට පොලිසිය පැවැසීය.

මියගිය පුද්ගලයා විසින් අසල්වැසි පුද්ගලයකුට යතුරුපැදියේ පොත උකස් කර රුපියල් 26,000ක මුදලක් ලබාගෙන එම මුදල ගෙවා යතුරුපැදියේ පොත උකසින් බේරා ගැනීමට ඉකුත් 08 දින රාත්‍රි උකස්කරුගේ නිවෙසට ගොස් මුදල සහ පොලිය සමඟ රුපියල් 35000ක මුදල උකස්කරුට ගෙවා නිවෙසට පැමිණ රුපියල් 9000ක මුදලක් වැඩිපුර ලබාගත් බවට පවසමින් බිරියට පහරදී ඇති බවත් වැඩිපුර ගත් මුදල් “මම පඩි ගත්තම ගිණුමට දාන්නම් මට ගහන්න එපා” කියද්දිත් බිරියට පහරදීම නිසා අම්මා බේරා ගන්න පුතා පිහියෙන් ඇන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් මරණකරුගේ 17 හැවිරිදි වැඩිමහල් පුතා ඒ පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවැති අතර තියුණු ආයුධයකින් කැපීම නිසා පෙණහලුවලට ඇතිවූ හානි හේතුවෙන් සිරුර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් දක්වා ඇත. සැරයන් දිසානායක (17568) මහතා සාක්ෂි සටහන් කිරීම සිදුකළ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිය අන්ද්‍රා හැන්නදිගේ මංජුලා කුමාරි (39) සහ මියගිය පුද්ගලයාගේ මව සිංගප්පුලිගේ විමලාවතී (65) යන අය විසින් සාක්ෂි ලබාදුන්හ.

උෟරුබොක්ක –  අතාවුද පතිරණ