PTA එකට එරෙහිව උතුරේ සිට දකුණට විරෝධයක්

0
16

ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණේ සහ සර්ව ජන යුක්ති සංවිධානය එක්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි ඉල්ලා කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා දීපව්‍යාප්ත ජංගම විරෝධතාවක් ආරම්භ කර ඇත.

එය නිල වශයෙන් පසුගියදා (10දා) යාපනය මාවිලිපුරම් කන්දස්වාමි කෝවිල අසලදී ආරම්භ කෙරුණු අතර මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ ලේකම් මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්තන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ඊ. සරවනබවන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. සිවඥානම්, ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් යන මහත්වරු ඇතුළු පිරිසක් හා එම ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

මෙම විරෝධතාවට සමගාමීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි ඉල්ලා මහජන පෙත්සමකට ජනතාවගේ අස්සන් ගැනීමද ආරම්භ කෙරුණි.

මෙහිදී විරෝධතාකරුවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ගොස් මෙම පනත පිළිබඳව ජනතාව දැනුවත් කරමින් මෙම පෙත්සමට අස්සන් ලබා ගැනීමට කටයුතු කරන බවයි.  

ඩී.එල්. ජයකොඩි