Family Trip වලට හරියන ලංකාවේ ලස්සනම තැන්

0
95

අද වන විට බොහෝ දෙනෙක් අපේ මේ පුංචි රට අතහැර විදේශ රටවල්වල පදිංචියට යෑමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් ශ්‍රී  ලංකාව කියන්නේ ලෝකයේ රටවල් අතර අතිශ්‍ය සුන්දර ස්ථාන රැසකට හිමිකම් කියන ලස්සන රටක්. ස්වභාවික සුන්දරත්වය අතින් ඉහළින්ම තිබෙන ශ්‍රී  ලංකාවේ අපට පහසුවෙන්ම නරඹන්නට යා හැකි එවැනි ලස්සනම ස්ථාන රාශියක් තිබෙනවා.

ඒ අතරින් බොහෝමයක් ස්ථාන අදටත් අප්‍රසිද්ධව පිහිටා තිබීම පුදුම සහගත දෙයකි. ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ලංකාවේ ලස්සනම පරිසර පද්ධතිවලට උරුමකම් කියන ඒ වගේම දවසින් ගිහින් එන්න පුළුවන් තැන් කිහිපයක් පිළිබඳ මෙවර ඩඥප අතිරේකයෙන් තොරතුරු ඔබ වෙතට ගෙන එන්නට අප සිතුවේ එනිසයි. බුලත්කොහුපිටිය – පැලැම්පිටිය – දේදුගල ප්‍රදේශය

කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයෙන් අවිස්සාවේල්ල නගරය පසුකොට කරවනැල්ල නගරය පැමිණ රුවන්වැල්ල – අඟුරුවැල්ල හරහා වරාවලින් ඉන්පසු බුලත්කොහුපිටිය නගරයටත් පිවිසිය හැකියි. කොළඹ සිට කරවනැල්ල පසුකොට බුලත්කොහුපිටිය නගරයට කිලෝමීටර් 84ක් පමණ තිබේ. නැති නම් කෑගල්ල නගරයෙන් බුලත්කොහුපිටිය නගරයටද පිවිසිය හැකියි. එහිදී කිලෝමීටර් 78ක දුර ප්‍රමාණයක් ගෙවිය යුතුයි.

බුලත්කොහුපිටිය දේදුගල පැලැම්පිටිය කියන්නේම ට්‍රැවල් කරන අයට නම් පාරාදීසයක් බදු ප්‍රදේශයක්. එනම් මෙම ප්‍රදේශය දියඇලි ගණනාවකින් සමන්විත වේ. මෙය එක් පසෙකින් මහනුවර දිස්ත්‍රික්කයට මායිම් වේ. සබරගමුව පළාතට අයත් අතිශය මනරම් පරිසර පද්ධතියකින් සමන්විත වන මෙම ප්‍රදේශය සුන්දර කඳු පන්ති රැසකින්ද වට වී තිබේ. තවද විශේෂයෙන්ම පැලැම්පිටිය හරහා නාවලපිටියද යා හැකි මාර්ගයක්ද වේ.

මුහුදු මට්ටමේ සිට අඩි 4,000ක් උසින් පිහිටා ඇති මේ ප්‍රදේශය වංගු මාර්ග, තේ වතු, ඇළ පහරවල්, තුරුලතාවලින් ගහන වූ ඉතාම මනරම් ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය පුංචි නුවරඑළිය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ එහි ඇති අතිශය සුන්දර බව නිසාමයි. රිකිල්ල ඇල්ල, නලඟන ඇල්ල, රුක්මල් ඇල්ල ආදී ඇලි රාශියක් මෙහිදී දැක ගත හැකියි. මේ අතරින් අප කා අතරත් වඩාත් ජනප්‍රිය වන්නේ නලඟන ඇල්ලයි. මේ සුන්දරත්වය සියැසින් දැක ගන්න නම් බුලත්කොහුපිටිය – දේදුගල පැලැම්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය යුතුමයි.

ඉංගිරිය _ කිරිගල හොරකැලේ රක්ෂිතය

ඉංගිරිය පරවිතොට මඩකඩ ඇල්ල කියන්නේ පවුල් පිටින් නාන්න යන්න පුළුවන් ලංකාවේ තිබෙන හරිම ලස්සන තැනක්. ඒ විතරක්ම නොවේ ඔරලෝසු වළ කියන්නේත් ඔරලෝසුවක හැඩයට ස්වාභාවික කළු ගල්වලින් නිර්මාණය කළ නාන තටාකයක්. එය අවුරුදු 100කට වඩා පැරැණියි කියලා තමයි ආරංචි වන්නේ. මෙම ස්ථානය Natural Outdoor Swimming Pool එකක් වශයෙන් දේශීය සංචාරකයන් අතර ඉතාම ජනප්‍රියයි.

ඒ වගේම ඉංගිරිය – කොළඹ ප්‍රධාන මාර්ගයේ යන විට හමුවන රයිගම් වත්ත කියන්නේත් ඉතාම ලස්සන ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානයක්. මෙතැනට ගිය විටදී මොහොතකට නුවරඑළියේ ගියා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඇත්තටම ඉංගිරිය කියන්නේ කොළඹ, කළුතර, රත්නපුර කියන දිස්ත්‍රික්ක 3ටම මායිම්ව පිහිටා තිබෙන ඉතාම සුන්දර ගමක්. කොළඹ ඉඳලා ඉතාම පහසුවෙන් යන්න පුළුවන් ලස්සන තැනක් විධියට ඉංගිරිය නගරය හඳුන්වන්න පුළුවන්.

කඳු පන්ති අතරින් වටවූ ඉංගිරිය රක්ෂිත වනාන්තර තුනකින්ම සමන්විත නගරයක්. මඩකඩ ආරණ්‍ය වගේම බෝධිනාගල ආරණ්‍ය සේනාසනයත් පින්ගොඩැල්ල පන්සලත් ආධ්‍යාත්මික සුවය සොයා පැමිණෙන සංචාරකයන්ට සුවිශේෂී ස්ථානයි. ඉංගිරිය නගරයට මුලින්ම පැමිණෙන අයකුට හොරකැලේ කියලා කියන්නේම ඉතාම සුවිශේෂ අමතක කළ නොහැකිම ස්ථානයක්. ඒ වගේම කවුරුත් දන්නා හඳුනන බටුගම්පල රක්ෂිතය නොහොත් හොරකැලේ ඉංගිරියේ සංචාරය කරන ඔබට නම් නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් වේවි. මෙම හොරකැලේ, බටුගම්පල රක්ෂිතය නොහොත් කිරිගල හොර වනාන්තරය ආදී විවිධ නම්වලින් හඳුන්වයි. මෙය ආසියාවේ විශාලතම හොර ශාක වනාන්තරය ලෙසද හැඳින්වේ. මීපේ – ඉංගිරිය මාර්ගය හරහා ඉංගිරිය පසුකොට කිලෝමීටර් 6ක් පමණ ගියතැන තුරු වියන්වලින් සැදුම්ලත් කිරිගල හොර වනාන්තරය හමුවේ.

දැරණියගල _ මාලිම්බොඩ

කෑගල්ල දිස්ත්‍රික්කයේ අෑත කෙළවරක පිහිටා තිබෙන දැරණියගල _ මාලිම්බොඩ ඉතාම සුන්දර තවත් ලස්සන ප්‍රදේශයක්. කඳු නඟින්නට, දිය ඇලි නැරැඹීමට කැමැති ඔබටත් අවශ්‍ය නම් රැයක් ගත කිරීමට Camping කිරීමටත් මෙම ප්‍රදේශය ඉතාම සුදුසුයි.

දැරණියගල _ නූරි ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට මාලිම්බොඩ ප්‍රදේශය හමුවේ.

තේ වතු මැදින් කඳු මුදුන්වලින් වංගු සහිත මාර්ගයේ ගමන් කිරීම තරමක් දුෂ්කර නමුත් ඒ තුළ අමුතුම සුන්දරත්වයක් ගැබ්ව තිබේ.

කොළඹ, අවිස්සාවේල්ල, දෙහිඕවිට හරහා දැරණියගලටත්, එතැනින් මාලිම්බොඩටත් ළඟා වීම පහසුයි. ශ්‍රී  පාදය කරුණා කිරීමට යා හැකි තවත් එක් මාර්ගයක් වැටී ඇත්තේද මෙම ප්‍රදේශය හරහාය. මුහුදු මට්ටමට සාපේක්ෂව ඉහළින් පිහිටා ඇති මෙම ප්‍රදේශ තුළ ගැබ්ව ඇත්තේ සීතල දේශගුණික තත්ත්වයකි. කඳුකර පරිසරයට ආවේණික ගස්වැල්, වන සතුන්, දිය ඇලි රාශියකින්ම මෙම ප්‍රදේශය සරුසාරය.

මතුගම _ තුඩුගල ඇල්ල

කළුතර මනමාලිය නොහොත් තුඩුගල ඇල්ල කියන්නේත් ඉතාම සුන්දර දිය ඇල්ලක්. මීදුමෙන් වැසී ගිය අහස්කුස සිසාරා සුන්දරත්වය පැතිරී යන විඩාබර ගතට සිසිලසක් ලබාදෙන ඉතාම නිස්කලංක පරිසරයක් මේ අවට දැකිය හැකියි. කළුතර දිස්ත්‍රික්කයේ ‍ෙදාඩම්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම ඇල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාම ප්‍රසිද්ධයි

හොරණ සිට නාර්තුපාන – තෙඹුවන හරහා තුඩුගලට කිලෝමීටර් 22ක් පසුකොට පැමිණිය හැකියි. කොළඹ, කළුතර, කටුකුරුන්ද, මතුගම පාර තුඩුගල හන්දිය හරහා තුඩුගල වත්තට යන්නටත් පුළුවන්.

මඳක් සීතල වූ කාලගුණය මැදින් රබර් වතු සහ නිල්වන් තණ කොළවලින් පිරුණු, ගහකොළවලින් රමණීය අතිශය සුන්දර පරිසරයක් හරහා තුඩුගල ඇල්ලට පහසුවෙන්ම ළඟා විය හැකියි. මෙම ඇල්ල මහල් දෙකකින් සමන්විත වන අතර පවුලේ අය සමඟ ජලය ස්නානය කොට සතුටු වීමටත් කදිම ස්ථානයක්.

ගම්පොළ තේ කෞතුකාගාරය

ගම්පොළ සිට ‍ෙදාරගල ප්‍රදේශයට එනවිටදී පාර දෙක හන්දියෙන් කෙළින්ම පැමිණෙන විට ‍ෙදාරගල හන්දිය පසුකොට මීටර් 200ක් පමණ යන විට මෙම කෞතුකාගාරයට පිවිසිය හැකියි. ප්‍රමාණය අතින් එතරම් විශාල නොවුණත් මේ තුළදී නිතර දක්නට නොලැබෙන බොහෝ දේ දැකබලා ගත හැකියි.

විශේෂයෙන්ම අතීතයේදී තේ දලු නෙළීමට භාවිත කළ උපකරණ, ඓතිහාසික ඡායාරූප, පැරණි සංගීත භාණ්ඩ, ආභරණ පෙට්ටි වගේ තවත් වටිනා භාණ්ඩ රැසක් මේ තුළ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාන්‍ය වතු ජනතාවගේ ජීවිතවල ඇති සැබෑ ස්වරූපය රටේ ජනතාවට දැන ගැනීමට සැලැස්වීමයි.

මෙම කෞතුකාගාරය නැරැඹීමට යන ඔබට අම්බුළුවාව කඳු මුදුන තරණය කිරීමටත් අතිශය ජනප්‍රිය අම්බුළුවාව පන්සලත් දැකබලා ගැනීමටත් හැකියි. මෙම කන්ද සර්ව ආගමික සංධිස්ථානයක්ද වේ.

එනම් මේ ප්‍රදේශය තුළ පන්සලක්, කතෝලික පල්ලියක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියක් පවා දැක ගත හැකියි. මුහුදු මට්ටමේ සිට අඩි 3,560ක උසකින් මෙම භූමිය පිහිටා තිබේ. අම්බුළුවාව කඳු මුදුන තරණය කරන ඔබට ඒ වටා පිහිටා තිබෙන සමනල කන්ද, නකල්ස් කඳු මුදුන, පිදුරුතලාගල කන්ද, බයිබල් කන්ද, හන්තාන කඳු මුදුන ඉතාම මනරම් ආකාරයට දැකගත හැකියි. ඒ වගේම මීටර් 48ක් පමණ උසකින් නිමවා ඇති අම්බුළුවාව කුලුන බලන්නට යනවා නම් අපි පෙර සඳහන් කළ ස්ථානත් නරඹන්න යන්න අමතක කරන්න එපා.

දිනූෂා මනෝරි නිශ්ශංක